May 03, 2024

තෙල් අවසන්! බලාගාර නවතියි! විදුලිය කපන හැටි අද එළියට!

සපුගස්කන්ද බලාගාරයේ විදුලි උත්පාදනය නතර වී ඇති බව වාර්තා වෙනවා.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙලෙස විදුලි උත්පාදනය නවතා දමා ඇති බව සඳහන්.

එමෙන්ම කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ද නොමැති වී ඇති බව ද වාර්තා වූවා.

මේ හේතුවෙන් අද (18) පස්වරු 05.00 සිට සියලු තාප ජනන යන්ත්‍ර වසා දැමීමට සිදුවන බවයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ.

ඒ අනුව අද (18) පස්වරු 05.00 සිට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවක් අහිමි වනු ඇති බව සඳහන්.

විදුලිය කැපෙයි

මෙම තත්ත්වයත් සමග අද (18) සිට රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ලේකම්, ධම්මික විමලරත්න ප්‍රකාශ කළා.

එම කාලය පැය එකහමාරක් පමණ විය හැකි බව යි ඔහු පවසන්නේ.

මෙවන් වාතාවරණයක් තුළ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද ලෙඩ නිවාඩු ගෙන සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ද ගෙන තිබෙනවා.

මේ අතර හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ද ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ එවැනි තත්වයකදී විදුලි කප්පාදුව සිදුකරන ප්‍රදේශ ඇතුළත් කාලසටහන පිළිබදව අද (18) පස්වරුවේ නිවේදනය කරන බව යි.

IOC වැඩෙත් අසාර්ථකයි

විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සාකච්ඡා කිහිපයක් ද පැවැත්වූ නමුත් ඒවා සාර්ථක නොවූ බව යි වාර්තා වූයේ.

එම තත්ත්වයත් සමග ලංකා ඉන්දියන් ඔයිල් (ලංකා IOC) සමාගමෙන් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් තමන්ද ඛනිජ තෙල් සංස්ථාව මෙන් ණයවර ලිපි විවෘත කිරීමේ ගැටළුවකට මුහුණ දෙන බව IOC සමාගම දැනුම් දී තිබෙනවා.

එම නිසා සිය ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීමට මේ මොහොතේ ප්‍රමුඛත්වයක් ලබාදෙන බවද සමාගම අවධාරණය කරනවා.

මේ අතර මේ වන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන මෙට්‍රික් ටොන් 900ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට ආරම්භ කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පළ වනවා.

තවත් ණයක්

එමෙන්ම හදිසි ඉන්ධන මිලදීගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ණය පහසුකමක් ලබා දෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 500ක් බව සඳහන්.

මේ බව පවසමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා විසින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙත ලිපියක් ද එවා ඇති බව සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 January 2022 06:48