May 03, 2024

පෙබරවාරිය තවත් දරුණුයි: විදුලි බිල ගැන කණගාටුදායක අනාවැකියක් (AUDIO)

වැඩි වෙන බිල

විදුලි බිල වැඩි කිරීමේ සූදානමක් පිළිබඳ ඛනිජ තෙල් වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශව අනාවැකි පළ කරනවා.

ඉදිරි සති දෙක තුන ඇතුළත මේ ආකාරයෙන් බිල වැඩිවනු ඇති බවට යි ඔවුන් පවසන්නේ.

ඛනිජ තෙල් වෘත්තීය සමිති අනාවරණය කරන්නේ මහජන උපයෝගීතා කොමිසම ද මීට එකඟ වී ඇති බව යි.

බලය ඉන්දියාවට

එමෙන්ම මෙරට ඉන්ධන මිල තීරණය කිරීමේ බලය ඉන්දියාවට ලබා දීමේ සූදානමක් පවතින බව ද ඔවුන් පවසනවා.

ඒ හරහා තෙල් සංස්ථාව මෙන්ම තෙල් පිරිපහදුව ද වැසී යනු ඇති බව යි ඔවුන් පෙන්වා දෙන්නේ.

වෘත්තීය සමිති නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ සියළු දේ හරහා පෙබරවාරි මාසයේ දී ජනතාව කබලෙනුත් ලිපට වැටී, ලිපෙනුත් එළියට තල්ලු වී යනු ඇති බව යි.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේ යි.

ජාත්‍යන්තරයට කළ හෙළිදරව්ව

මේ අතර ලඟදීම අනිවාර්යය විදුලි කප්පාදුවකට යා යුතු යැයි තමා අනුමාන කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) විදෙස් පුවත් නාලිකාවක් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

අමාත්‍යවරයා එහි දී පවසා ඇත්තේ ගෙවුණු වසර 08ක කාලය තුළ පුනර්ජනනීය හෝ තාප බලශක්ති ප්‍රභවයන් කිසිවක් ජාතික විදුලිබල පද්ධතිය වෙත අලුතින් එකතු කර නොමැති බව යි.

විදුලිය කපන දිනය

ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම වාර්ෂික 8%කින් පමණ ඉහළ යන බව අනාවරණය කරන ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම හේතුව නිසා කාලානුරූපීව එම ඉල්ලුම සපුරාලීමට කටයුතු කිරීමට රජයන්ට සිදුවන බව යි.

එමෙන්ම මේවන විට රට තුළ පවතින තාප බලාගාරවලට රට තුළ ඇති සමස්ත විදුලි ඉල්ලුම සපුරාලීමට හැකියාවක් නොමැති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ නිසා අනිවාර්ය විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවට තමා අනුමාන කරන බව ඔහු සඳහන් කරනවා.

පෙබරවාරි මාසයේ මැද සිට හෝ මාර්තු මාසයේ මුල සිට මෙම විදුලි කප්පාදුව ආරම්භ වනු ඇති බව සිය අනුමානය බව යි ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 January 2022 21:22