May 06, 2024

අද විවෘත වූ මධ්‍යම අධිවේගයේ ගාස්තු අයකරන්නේ මෙහෙමයි

මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) ජනතා අයිතියට පත් කෙරුණා.

එම උත්සවය පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මධ්‍යම අධිවේග මාර්ගයේ දෙවන අදියරේ මිරිගම - කුරුණැගල දක්වා කොටස කිලෝමීටර් 40.91ක දුරින් යුක්තය.

පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වනපරිදි ඉදිකර ඇති මෙම අධිවේග මාර්ගය නාගරික ප්‍රදේශ මගහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදිකර තිබෙනවා.

මංතීරු 4ක් යටතේ ඉදිකළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන තිබෙනවා.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 ඉදිකර තිබෙන බවයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ සඳහා රුපියල් බිලියන 137ක් වැය කර තිබෙනවා.

මේ අතර මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ ගාස්තු අයකිරීම් සිදුවෙන ආකාරය පහතින් දැක්වෙයි.

ඒ අනුව ඇක්සල් දෙකේ රෝද හතරේ වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම ගාස්තුව රුපියල් 100ක්.

එහි උපරිම ගාස්තුව රුපියල් 250ක්. ඒ මීරිගමින් ඇතුළුවී කුරුණෑගලින් පිටවීමටය.

ඇක්සල් දෙකේ රෝද හතරේ වාහන සඳහා මීරිගමින් ඇතුළුවී යග්ගපිටියෙන් පිටවීමට රුපියල් 250ක් අය කෙරෙනවා.

ඇක්සල් දෙකේ රෝද හයේ වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම ගාස්තුව රුපියල් 150ක්. 

මීරිගමින් ආරම්භ වී කුරුණෑගලින් අවසන්වීමටත් මීරිගමින් ඇතුළුවී යග්ගපිටියෙන් පිටවීමට රුපියල් 350ක් අය කෙරෙනවා.

ඇක්සල් දෙකට වැඩි වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර රුපියල් 150ක ගාස්තුවක් අය කරනවා.

එම වාහන සඳහා මීරිගමින් ආරම්භ වී කුරුණෑගලින් අවසන්වීමටත් මීරිගමින් ආරම්භ වී යග්ගපිටියෙන් අවසන්වීමටත් රුපියල් 550ක ගාස්තුවක් අය කරන බවයි මහාමාර්ග අමාත්‍යාංශය පැවසූවේ.

ඊට අමතරව කුරුණෑගල සහ යග්ගපිටිය අතර ගාස්තුවක් අය කිරීමකින් තොරව ගමන් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

මෙම ගාස්තු ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 January 2022 18:14