April 27, 2024

හවස ගෙදර යන්න දුම්රිය නැති වෙයිද? දුම්රිය වැඩ වර්ජනය දරුණු අතට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ පැය 24ක හදිසි වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් රැසක් අපහසුතාවට පත්වුණා.

එමෙන්ම දුම්රිය වර්ජනය හේතුවෙන් ගමන් වාර 200ට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර ධාවනය සිදුවන්නේ ගමන් වාර 80ක් පමණයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇරඹි හදිසි වර්ජනය හේතුවෙන් ඇතැම් දුම්රිය ගමනාන්තය දක්වා ගමන් කිරීමට පෙර අතරමඟ නතර කිරීම හේතුවෙන් මගීන් රැසක් අපහසුතාවයට පත්වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මධ්‍යම රාත්‍රියේ වර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණත් ඊට පෙර දුම්රිය ස්ථානවලින් ස්ථානාධිපතිවරුන් ඉවත්ව යාම හේතුවෙන් කැකිරාව, හබරණ සහ මහනුවර යන ප්‍රදේශවලදී දුම්රිය කිහිපයක් මගීන් සමග මග නතර කෙරුණු බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රිය කැකිරාව දුම්රිය ස්ථානය ආසන්නයේ නතර කර තිබියදී කිසියම් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

සංඥා දෝෂයක් හේතුවෙන් මෙම දුම්රිය නවතා ඇති අතර ඒ වනවිට එහි විශාල මඟීන් සංඛ්‍යාවක් සිට තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද රාත්‍රී 12 තෙක් ක්‍රියාත්මක කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කොළඹ දී අද (13) මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළේ.

මේ අතර, දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ දුම්රිය ස්ථානාධිපති සංගමයේ නියෝජිතයෙකුගෙන් රියදුරන්ට තර්ජන එල්ල වී ඇති බවයි.

මේ අතර දුම්රිය ගමන් වාර අවලංගු කිරීම නිසා ශ්‍රීපාද වන්දනාව සඳහා එක්වූ පිරිසක්ද අසිරුතාවයට පත්ව සිටියා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රිපාද වන්දනා සදහා හැටන් දුම්රිය ස්ථානයට පැමිණි වන්දනාකරුවන් දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ පිහිටි දුම්රිය විශ්‍රාම ශාලාවේ නතර වි සිටි අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.

"සිරිපාදේ ගිහිල්ලා ඊයේ 4 ඉඳන් මෙතනට වෙලා ඉන්නේ. මුන්ව අල්ලලා ගිනි තියන්න ඕනේ කාලකන්නි."

"මිනිස්සුන්ට නිකන් පඩි ගෙවලා වැඩක් නැහැනේ."

"දවස් දෙකක් නිවාඩු දාලා ළමයි එක්කන් මේ සිරිපාදේ යන්න ආවේ. දැන් දවස් තුනක් නිවාඩු දාන්න වෙලා මේ කාලකන්නි කරපු වැඩෙන්."

"කෝච්චියක් එනකන් බලාගෙන ඉන්නවා. කොයි වෙලාවේ එයිද දන්නේ නැහැ. එයිද නැද්ද දන්නෙත් නැහැ."

"රෑ 12ට කිව්වලු. අපි දන්නෙත් නැහැ අපි නිදිනේ. සති දෙකකට කලින් ටිකට් බුක් කර ගත්තේ."

"අඩුම ගානේ කියන්නෙවත් නැහැ. අපි ටිකට් බුක් කරලනේ ආවේ. ළමයි ඔක්කොම අරගෙන ආවේ. මාර වැඩක් අපිට වුණේ."

"පොඩ්ඩක් වෙලා ඉඳලා බලනවා. පොඩි කට්ටියත් එක්කත් බස් එකේ යන්න බැහැනේ කරදරයිනේ."

"මම පාන්දර 4 ඉඳන් ඉන්නවා. නන්නත්තාර වෙලා ඉන්නේ."

"අයිතිවාසිකම් දිනා ගන්න ඕනේ ජනතාව අපහසුතාවයට පත් කරන්නේ නැතුව."

"බස් එකේ තමයි යන්න වෙන්නේ. බස් එකෙත් දැන් ගාණ වැඩියිනේ."

"අපෙන් පළි අරගෙන වැඩක් නැහැනේ. රජෙන් එයාලගේ අයිතිවාසිකම් දිනා ගන්න ඕනේ."

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 January 2022 14:17