April 28, 2024

උත්සවයට ගිය අගමැතිගෙන් සිසුවිය කළ ඉල්ලීම ඉටු කරන්නැයි අගමැතිගෙන් එවලේම නියෝගයක්

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු දියණියන්ගේ අයිතියට පත් කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වූ අතර පාසැල තුළ ද නිරීක්ෂණ චාරිකාවට එක්‌ වුණා.

උත්සව සභාවෙන් පිටතට එන අවස්ථාවේ දී මලියදේව බාලිකා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ දැරියන් හමු වූ අග්‍රාමාත්‍යවරයා, “ඔයාලට තිබෙන අඩුපාඩු මොනවාදැයි” දරුවන්ගෙන් විමසා සිටිය අතර “අපට කැමරා නැහැ” යැයි දැරියන් කී විට අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේම අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාට ඔවුන්ගේ අඩුපාඩු බලා එය ඉටු කර දෙන්නැයි ඉල්ලා සිටියා.

කොවිඩ් වසංගතයට පාසල් වසා දැමූ කාලය තුළ දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහිවීමේ අනතුර පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා තාක්ෂණය හොඳට මෙන්ම නරකට ද ඉවහල්වන බැවින් නිවැරදි මග සොයා ගැනීමට දරුවන් දැනගත යුතු බවත් ඔවුන් ගැන දෙමාපියන් මෙන්ම ගුරුවරුන් ද අධ්‍යනයෙන් පසුවිය යුතු බවත් අවධාරණය කළා.

අග්‍රාමාත්‍යවරයා එම උත්සව සභාව අමතමින් සඳහන් කලේ,

ඔබ ඉගෙනුම ලබන කුරුණෑගල මලියදේව බාලිකාව දැනුමෙන් කුසලතාවෙන් පිරිපුන් අභිමානවත් පරපුරක් රටට දායද කරන පාසලක් බව ප්‍රථමයෙන් කියන්න ඕනේ. අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් ක්‍රීඩාව පැත්තෙන් ගත්තත් මලියදේව බාලිකාව ඉදිරියෙන් ඉන්න බව අපි දන්නවා. ඒ නිසා මේ මලියදේව බාලිකාවේ දැරියන් ගැන අපි හැමෝටම ආඩම්බරයක් තියෙනවා.

මේ අවස්ථාවට එන්න මට උනන්දුවක් ඇතිවුණේ මේ දරුවන්ට කරන ගෞරවයක් හැටියටයි. අද ඔබට ලැබුණු මේ නව ගොඩනැගිල්ල ඔබේ පාසලට ලැබුණු හොඳම තෑග්ගක්.

අපි දරුවන්ගෙ දක්ෂතා අගය කරනවා වගේම ඒ දක්ෂතා මත ඉදිරියට යන්න අවශ්‍ය පහසුකම් සලසන්න ඕන. එවිටයි දරුවන් දිරිමත් වෙන්නෙ. දරුවන් තමයි අපේ අනාගතය.

ඇතැම්විට ඔබ දන්නෙ නැතුව ඇති අපේ රටේ පාසල් දස දහසකට වැඩි සංඛ්‍යාවකින් වැඩිම පාසල් ප්‍රමාණයක් තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බව. මේ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 30ක් ඇතුළු රජයේ පාසල් 873ක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පාසල්වල ඉගෙන ගන්න දරුවො ජාතික තලයේ දී විභාගවලින් සෑම වසරක දිම ඉතා විශිෂ්ට දක්ෂතා පෙන්වනවා.
පසුගිය අවුරුදු කිහිපය ගත්තම පහේ ශිෂ්‍යත්වයෙන් ඉහළම සමත්වීමේ ප්‍රතිශතය පෙන්නල තියෙන්නේ කුරුණෑගල දරුවෝ. ඔබට එය ආඩම්බරයක්. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ , උසස් පෙළ විභාගවලිනුත් ඉහළම දක්ෂතා පෙන්වමින් කුරුණෑගල දරුවො සමත්වුණා. ඔබේ පාසලත් ඒ අතර ඉදිරියෙන්ම සිටිනවා.

ඔබේ පාසල් කාලය තමයි ජීවිතයේ වටිනාම කාලය. මේ ඉන්න ගුරුභවතුන් ඔබට අධ්‍යාපනය පමණක් නෙවෙයි විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන්නත් අවස්ථාව ලබා දෙනවා. අනාගත අභියෝග ජයගන්න නම් අධ්‍යාපනය වගේම විෂය බාහිර ක්‍රියාකාරකම්වලිනුත් ඔබ සන්නද්ධ විය යුතුයි.

ඒ නිසා මේ පාසලේ දරුවන් විෂය බාහිර ක්‍රියාකාරකම්වලිනුත් ඉදිරියෙන්ම ඉන්න බව දැනගත්තම මම තවත් සතුටු වුණා. දැනගන්න ලැබුණ විදියට අපේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ 06 දෙනෙක්ම ඔබේ විද්‍යාලයෙන් බිහි වූ ඔබේ සහෝදරියන්.

ඒ විතරක් නෙමෙයි දැල්පන්දු ඇතුළු බොහෝ ක්‍රීඩාවල ජාතික තලයට ගිය ක්‍රීඩිකාවන් මෙන්ම අපේ රටේ පළමු ක්‍රීඩා කථිකාචාර්යවරිය බිහිවන්නෙත් මේ විද්‍යාලයෙන්. ඒ වගේම සෞන්දර්ය විෂයටත් ඔබ එකසේ සමත්කම් දක්වනවා.නැටුම් ගැයුම් තරගවල ජාතික තලයේ ජයග්‍රහණ ලබන ඔබට සෞන්දර්ය විෂයට අදාළ ගොඩනැගිල්ලක තියෙන අඩුපාඩුවත් අධ්‍යාපන ආමාත්‍යාංශය විසින් ඉදිරියේ දී මගහැර දෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

තරුණ බෞද්ධ සංගමයේ අදහසකට එදා සිසුවියන් 69 දෙනෙකුගෙන් හා ගුරුවරියන් 4 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම පාසල අද වනවිට ශිෂ්‍යාවන් 4500 කට ආසන්න පිරිසකට සෙවන දෙන රටේ ප්‍රමුඛතම බාලිකා පාසලක්.

මේ තැනට මේ පාසල ගොඩ නැගුනේ නිකම්ම නෙමෙයි. විදුහල්පතිවරු, ගුරුවරු, දෙමාපියෝ, ආදි ශිෂ්‍යාවෝ ඒ වෙනුවෙන් විවිධ කැපකිරීම් කරලා තියෙනවා. අද ඔබ අභිමානයෙන් මේ පාසලෙන් අධ්‍යාපනය ලබන්නේ ඒ අතීත කැපකිරීම් මත බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔබටත් අද දිනයේ වගකීමක් තිබෙනවා ඒ අභිමානය අනාගතයට රැගෙන යන්න.
ඔබ සතුව ඇති බලය තමයි දැනුම. දැනුම ලැබෙන්නේ අධ්‍යාපනයෙන්. දැනුමෙන් පෝෂණය වෙනව කියන්නේ කිසිවෙකුටත් අත නොපා ඔබලාට දෙපයින් නැගී සිටීමට ලැබෙන අවස්ථාවක්. දුප්පත් පොහොසත් උගත් නූගත් කිසිදු බේදයකින් තොරව තමන්ගෙ දරුවන් දැනුමෙන් පෝෂණය කරන්න දෙමාපියන් කැප වෙන්නේ ඒ නිසයි.

කොවිඩ් වසංගතය සමඟ නැවතුණ පාසල් අධ්‍යාපනය අපි ක්‍රමානුකූලව ආරම්භ කළේ ඔබේ අනාගතය මෙන්ම රටේ අනාගතය ගැන කල්පනා කරලයි. හැබැයි එදා කොවිඩ් වලට ගෙදර නැවතුන දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහිවෙලා කියලා දෙමාපියන් මැසිවිලි නගනවා.වෛද්‍යවරු පවා මේ ගැන අනතුරු අගවලා තියෙනවා. හොඳට වගේම නරකටත් තාක්ෂණය ඉවහල් වෙනවා. ඒ නිසා දරුවෝ දැනගන්න ඕනේ වැරදි මඟ නොයා තාක්ෂණයෙන් අපිට ලබාගන්න තියෙන හරි දේවල් සොයා යන්න. දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් වගකීමක් තියෙනවා දරුවන්ට නිවැරදි දේ කියා දෙමින් ඔවුන්ව අධ්‍යනය කරන්න.

අධ්‍යාපනය සඳහා මෙතෙක් කිසිදු රජයක් වෙන් නොකරපු මුදලක් අපි මෙම වර්ෂයේ වෙන්කරල තියෙනවා. ගුරුවරුන්ගේ වැටුප් ගැටලුවට පවා සාධනීය විසදුමක් ලබාදෙන්න අපිට හැකිවුණා. අපි හැම දෙයක්ම කරන්නේ දරුවන් ගැන හිතලා. ඒ නිසා දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම තහවුරු කරන්න අපි අවුරුදු 18ට අඩු දරුවන් සේවයේ යෙදවීම නීතියෙන්ම දැන් තහනම් කරලා තියෙන්නෙ.

ඒ විතරක් නෙමෙයි පාසල් නොයන දරුවන් හඳුනාගෙන ඔවුන් පාසල් වෙත යොමු කරන්නත් අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඔබට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන සැබෑ දක්ෂයන් ලෙස ඉදිරියට එන්න. අභියෝග හමුවේ වුවත් අද අප මේ කැපවන්නේ ඔබට සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කිරීමට බව සිහි තබාගන්නා ලෙස ඉල්ලමින් ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 January 2022 15:42