May 05, 2024

ජනපතිගේ හරිත කෘෂිකර්මය ගැන එක්සත් ජාතීන් සතුටින්

මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

කන්නි විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනවා.

2021 තිරසර සංවර්ධන වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂව අගයන් හතකින් ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකාව, රටවල් 165ක් අතරින් 87 වන ස්ථානයට පත්ව ඇතැයි විග්නරාජා මහත්මිය පෙන්වා දුන්නා.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කරගනිමින් හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ සඳහා විදෙස් ආයෝජකයන්ගේ ආකර්ශණය දිනාගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරුණා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ සමාජ ආර්ථික බලපෑම්වලට විසඳුම් සොයන අතරතුර, තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඒ වෙනුවෙන් “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය” සහ “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය” ඇතුළු විධිමත් ව්‍යුහයක් සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 January 2022 08:22

Related items