May 03, 2024

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලොකු මුදලක්

December 29, 2021

කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරීම සඳහා සයිනොෆාම් එන්නත ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වැයකල අමරිකානු ඩොලර් මිලියන 85 ක මුදල නැවත අප රටට ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළ කොට ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.                                                                                                             

මහනුවරදී අද (29) මාධ්‍ය වෙත අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ මෙරට කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල ලබා ගත් සාර්ථකභාවය හා එම එන්නත් මිලදී ගැනීමේදී ගණුදෙනුවල පවතින පාරදෘශ්‍යභාවය හා විශ්වාසවන්තභාවය පදනම් කර ගනිමින් මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදල මෙරටට ලබා දීමට එකඟතාව පළකොට ඇති බවයි.

තවදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා,

"වර්තමානයේ අප රටට ඩොලර් හිඟයක් බලපා ඇති අවස්ථාවේ රුපියල් මිලියන 17,000ක් පමණ වටිනාකමින් යුත් ඇමරිකානු ඩොලර් මිලියන 85ක් ලබා දීම සතුටට කරුණක්. ජනාධිපතිතුමා අපට කීවේ 2021 වසර එන්නත්කරණ වසර වශයෙන් සලකා අවශ්‍ය කටයුතු කරන්න කියලයි. අපට ලබා දුන් ඒ අභියෝගය හා වගකීම අපි ඉතාමත් වගකීමෙන් හා පාරදෘශ්‍යභාවයෙන් යුක්තව ඉටු කළ බව මෙහිදී කියන්න කැමතියි. මෙරට කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල අපි ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කොට තිබෙනවා. බූස්ටර් මාත්‍රාවක් වශයෙන් තෙවන එන්නත ලෙස ෆයිසර් එන්නත් ලක්ෂ 140 ක් සඳහා ශ්‍රී ලංකා රජය එම ආයතනයට ඇණවුම් කළා. ෆයිසර් එන්නත ලබා ගැනීමේදී ලෝක බැංකුව අපිට උදව් කළා. ඒ නිසා ගැටලුවක් ඇති වුණේ නෑ. අප ඇනවුම් කළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 64 ක් මේ වන විට අපට ලැබී තිබෙනවා. ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 76 ජනවාරි මස දෙවන සතියේ අපිට ලැබීමට නියමිතව තිබෙනවා. නමුත් අපිට දක්නට ලැබෙන කාරණයක් තමයි තෙවන මාත්‍රාව  ලබා ගැනීම සඳහා ජනතාවගේ උනන්දුවේ යම් අඩුවීමක් තිබෙන බව. මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා සිඝ්‍රයෙන් ලොව වටා ව්‍යාප්ත වෙමින් පවතිනවා. එබැවින් විවිධ කට කතා වලට නොරැවටී ලැබෙන පළමු අවස්ථාවේදීම බූස්ටර්  එන්නත ලබා ගන්නා මෙන් මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

(මහනුවර  කේ.එල්. සුරවීර)                         

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 December 2021 15:33