May 06, 2024

පස් කන්ද එක්දරු මව බිලි ගනී (PHOTOS)

November 27, 2021

මහනුවර දිස්ත්‍රික්කයේ අංකුඹුර පොලිස් බල ප්‍රදේශයේ රඹුකේවෙල ග්‍රාමයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි විසූ 55 හැවිරිදි කාන්තාවක් මරණයට පත්ව තිබෙනවා.

එම සිදුවීම ඊයේ (26) රාත්‍රී 09.00ට පමණ සිදු වූ බව ප්‍රදේශවාසීහු පවසනවා. ඊයේ රාත්‍රී අධික වර්ෂාව පැවති අවස්ථාවේ මෙම නිවස මතට පස් කන්දක් කඩා වැටී ඇති අතර එම පස් කන්ද කඩා වැටීමෙන් නිවසේ කාමරයක ඇඳක් මත නිදාගෙන සිටි මවක් සහ දියණියක් පස් කන්දට සම්පූර්ණයෙන්ම යට වී තිබෙනවා.

මේ හේතුවෙන් චන්ද්‍රානි ප්‍රේමලතා නැමති එම කාන්තාව එම ස්ථානයේම මරණයට පත්ව ඇති අතර ඇගේ දියණිය වූ 09 හැවිරිදි කුෂාණි අබේසිංහ දැරිය පස් කන්දට යටව සිටියදී දැඩි වෙහෙසක් දරා ගොඩට ගෙන රෝහල් ගත කොට ඇති අතර මේ වන විට ඇය මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

දැරිය මොරන්කන්ද කණිටු පාසලේ 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව ප්‍රදේශවාසීහු පවසනවා. මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා වෙනත් කාමරයක නිදා සිටි බැවින් ඔහු අනතුරට ලක් වී නොමැති අතර හෙතෙම අනතුර සිදුවූ අවස්ථාවේ කෑගසමින් අසල වූ නිවසක් වෙත ගොස් එම නිවැසියන්ගේ ආධාර මත පස්ගොඩ යටව සිටි තම දියණිය සහ බිරිඳ ගොඩගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මරණයට පත් වූ කාන්තාවගේ මෘත දේහය බොක්කාවල රෝහලේ තැන්පත් කොට ඇති අතර අංකුඹුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

(මහනුවර - කේ .එල්. සුරවීර)                                                   

Rate this item
(0 votes)