May 05, 2024

21 එන්නේ නැති මධ්‍යම පළාතේ ගුරුවරුන්ට වෙන දේ කලින්ම කියයි

21 වැනිදා සේවයට වාර්තා කිරීමට මධ්‍යම පළාතේ ගුරුවරුන් ක්‍රියා නොකළ හොත්, එම කටයුතු ආවරණය කිරීම සඳහා සංවර්ධන නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට සියළු කටයුතු සළසා ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා පවසනවා.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනියුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන් මේ සඳහා යොදා ගැනීමට සැලසුම් කොට ඇති බවයි ඔහු අනාවරණය කළේ.

කෙසේ වෙතත් රජය විසින් නිකුත් කොට ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකරන ගුරුවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා නීතිරීති සංග්‍රහයට අනුව කටයුතු කිරීමට සිදුවන බවද පියදාස මහතා අවධාරණය කොට සිටිනවා.

එදිනට සේවයට වාර්තා කිරීම පිළිබඳ මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති පාසල් සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කොට්ඨාස අධ්‍යක්ෂවරුන් මඟින් යළි තහවුරු කිරීමක් ලබා ගනිමින් ඉදිරි කටයුතු සිදුකරන බව ද ඔහු පැවසුවා.

21 දින පාසල් විවෘත කිරීම පිළිබඳව කලාප, කොට්ඨාස අධ්‍යාපන නිලධාරීන් මෙන්ම විදුහල්පතිවරුන් ද මේ වන විටත් දැනුවත් කොට අවසන් බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

මධ්‍යම පළාතේ සිසුන් දෙසීයට අඩු පාසල් 805ක් ඇති බවත් මෙම පාසල් 805 අතරින් පාසල් 550කම විදුහල්පතිවරුන් එදිනට සේවයට වාර්තා කිරීමට කැමැත්ත පළ කළ බවත් පවසන ඔහු වැඩිදුරත් ප්‍රකාශ කළේ තත්ත්වය එසේ නමුත් එම තත්ත්වය සම්බන්ධයෙන් නිශ්චිතවම අදහස් පළ කළ නොහැකි බව යි.

Rate this item
(5 votes)
Last modified on Tuesday, 19 October 2021 11:36