May 03, 2024

ජනාධිපති මන්දිරයත් චීනයට! පදිංචියට චීන ආණ්ඩුකාරවරයෙක්? - මනෝ ගනේෂන් හෙළි කරයි

නව පාවෙන ඡන්ද දායකයින්ගේ විශ්වාසය දිනාගෙන, බලයට ආපු මෙම පාලකයින් තමන්ගේ මෝඩ ප්‍රතිපත්තීන් නිසා, මෙම රට කපිතාන් වරයෙකු නැති නැවක් ලෙස පාවෙන්න ඉඩ දී ඇතැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.

චීනයට වරාය නගරය බාරදුන්නා වගේ, ඒ වටා ඇති අක්කර 13ක පමණ ඉඩම් ද අද චීනයට ලබාදීමට නියමිත බවත් එම ප්‍රදේශය තුළ මෙරට නිල ජනාධිපති මන්දිරයත් තිබෙන බවත් එනිසා එම මන්දිරයත් චීනයට ලබාදී එම ස්ථානයේ චීන ආණ්ඩුකාරවරයෙක්ව පදිංචි කරන බවට මන්ත්‍රීවරයා චෝදනා කරනවා. 

පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.

"මෙය අද ක්‍රියාකාරී රජයක් නැති, නායකයෙක් නැති, මගපෙන්වන්නා නැති රටක් බවට පත් වෙලා. යන දිසාවන් නොමැතිව, කිරීමට කිසිවක් නැතිවී, මෙම රට අද පැකිලෙනවා. ජනතාව බඩුමිල ඉහල යෑමෙන් දැඩිලෙස පීඩාවට පත් වෙලා. මේ සම්බන්ධයෙන් මෙම රජයේ එකම උත්තරය වන්නේ ලොව පුරාම ව්‍යාප්තවී තිබෙන කොරෝනා නිසා අපේ රටේ ආර්ථිකයද විනාශ වුණා කියන එක පමණයි. ඔව්, කොරෝනා ලෝකය පුරාම තිබෙනවා. දකුණු ආසියාවේ ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල්වලත් තිබෙනවා. නමුත්, එම ස්ථානවල ආර්ථිකය මෙලෙස විනාශ වී නැහැ. බඩුමිල ද මෙලෙස සිය ගුණයකින් වැඩි වුණේ නැහැ. ජනතාවගේ ආදායම් කඩා වැටුණේ නැහැ. දකුණු ආසියාවේ ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල් කොහොමද අපට ණය දෙන තත්වයට තමන්ගේ ආර්තිකය ආරක්ෂා කර ගෙන තිබෙන්නේ කියා අහන්න කැමති?" 

"ඉන්දියාවටත්, බංග්ලාදේශයටත් නැති වාසනාවක් මේ රටට තිබෙනවා. ඒක තමයි අපේ රට දූපතක්. පිටින් කොරෝනා ඇවිත් අපිව විනාශ කරන්න බැරි රටක් ලෙස අපේ රට තිබුණා. ඔයාලා තමයි කෝරෝනාව කැඳවාගෙන ආවේ. ඔයාලා රට විවෘතව තැබුවා. අද මරණයට පත්වී තිබෙන දස දහසකටත් වැඩි අයගේ මරණයට හේතුව ඔයාලාමයි.

මෙවැනි අවස්ථාවක බඩුමිල ඉහල යෑමට, කොරෝනාව හේතුව ලෙස පෙන්වන්න ඔයාලාට කිසිම යෝග්‍යතාවයක් නැහැ. එනිසා රට කරන දැනුමක් තිබෙන අයට බාර දීලා එලියට යන්න. අද මෙරටට ගෙන එන ලද පොහොර වල බැක්ටීරියා අඩංගු බවත්, එය අපේ පසට නුසුදුසු බවත් අපේ රටේ ජාතික උද්භිද පර්යේෂණ ආයතනය වාර්තා කර තිබෙනවා. නමුත් එම වාර්තාව වැරදි බව චීන තානාපති කාර්යාලය පවසනවා. තමන්ගේ පොහොර ගුණාත්මක බව චීනය පවසනවා. තමන්ගේ රටේ පර්යේෂණ වාර්තාව ඔවුන් ඉදිරිපත් කරනවා. මේක මොකක්ද? මේ සම්බන්ධයෙන් අප රටේ ජාතික උද්භිද පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් පිලිතුරු දිය යුතුයි. මෙම රටේ අද චීනයට වරාය නගරය බාරදුන්නා වගේ, ඒ වටා ඇති අක්කර 13ක පමණ ඉඩම් ද අද චීනයට ලබාදීමට නියමිත බව අපට ආරංචි වෙනවා. එතන තමයි ශ්‍රීලංකාවේ නිල ජනාධිපති මන්දිරයත් පිහිටුවා තිබෙන්නේ. ඒක තමයි කලින් බ්‍රිතාන්‍ය යුගයේ සුදු ජාතික ආණ්ඩුකාරවරයාගේ  මන්දිරය වී තිබුණේ. එනිසා එම මන්දිරයත් චීනයට ලබාදීලා, එම ස්ථානයේ චීන ආණ්ඩුකාරවරයෙක්ව පදිංචි කරන්න. සඟවා ගෙන කරන්නේ නැතුව, ඒක ප්‍රසිද්ධියේ කරලා, මෙම රට චීන කොලනියක් බවට ප්‍රකාශ කරන්න." යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)

Related items