May 19, 2024

තරුණ පිරිස් රට අත හැර යන කතාව බොරු : මම එතනට ගිහිල්ලාම බැලුවා - මහ බැංකු අධිපති

රටේ ආර්ථික බිඳ වැටීම නිසා මෙරට සිටීමෙන් අනාගතයක් නැති බව පවසමින් බොහෝ තරුණ පිරිසක් රට අත හැර යන කතාව බොරුවක් බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

එම කතාවට පදනම් වූ බත්තරමුල්ල විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය අසලට ගොස්ම සොයා බැලූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

වොයිස් කට් තුන

එපමණක් නොව රට අතහැර යාම ගැන දුන් වොයිස් තුනම තමා ඇසූ බවත් ඔහු අනාවරණය කරනවා.

සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ දෙකහමාරක පමණ පිරිසක් විදෙස් ගත වන බවත් ඉන් බොහෝ දෙනෙකු යන්නේ විදේශ රැකියා සඳහා බවයි මහ බැංකු අධිපතිවරයා අවධානය කරන්නේ.

එහෙත් කොවිඩ් වසංගත තත්ත්වය මත රට වසා දැමීම හේතුවෙන් ඒ බොහෝ දෙනකුට විදෙස් ගතවීමට පසුගිය කාලයේ අවස්ථාවක් නොලද බව සඳහන් කරන කබ්රාල් මහතා දැන් ඒ සඳහා අවස්ථාවක් තිබෙන බැවින් බත්තරමුල්ල විදෙස් ගමන් බලපත් කාර්යාලය වටා රොක් වී සිටින්නේ එසේ රට යෑම පමා වූ පිරිස් බවයි පෙන්වා දෙන්නේ.

තරුණ පිරිස් වල ප්‍රතිචාරය

පසුගිය දින කීපය පුරාම බත්තර මුල්ලේ විදෙස් ගමන් බලපත්‍ර කාර්යාලය ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණු අතර එම පෝලිම්වල සිටි තරුණ පිරිස් මාධ්‍ය අමතා සඳහන් කළේ රටේ තව දුරටත් සිටීමෙන් අනාගතයක් නැති බැවින් රට අතහැර යන බවයි.

මහ බැංකු අධිපතිවරයා ඉහත පිළිතුරු ලබා දුන්නේ ඔහු සමග ඒෂියන් මිරර් සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Rate this item
(2 votes)
Last modified on Sunday, 17 October 2021 20:37