May 10, 2024

ඩයනා යතුර අතට ගනියි: සජිත්ගේ මන්ත්‍රීකමත් අනතුරේ Featured

තමාව සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම නීතිමය පියවර ගන්නා බව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය හෙළිදරව් කරනවා.

සමගි ජන බලවේගයේ යතුර තිබෙන්නේ තමා සහ තමාගේ ස්වාමිපුරුෂයා අතේ බවයි මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ.

මන්ත්‍රීවරුන්ගේ අනාගතය

ඒ යතුර දාලා සමගි ජන බලවේග මන්ත්‍රීවරු ලොක් කරනවද නැතිනම් ඔවුන්ට නිදහසේ කටයුතු කරන්න ඉඩ හරිනවද කියන තීරණය තියෙන්නේ තමා සහ තම ස්වාමිපුරුෂයාගේ අතේ බවට විශේෂ හෙලිදරව්වක්ද මන්ත්‍රීවරිය සිදු කරනවා.

එසේ නැතුව ඒ බලය තිබෙන්නේ සජිත් ප්‍රේමදාස හෝ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට නොවන බවයි මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ.

සමගි ජන බලවේග නායකත්වය තමා පස්සෙන්ම පන්නන බව සඳහන් කරන මන්ත්‍රීවරිය ඒ තමා කාන්තාවක් වීම මෙන්ම හෝ තමාට තිබෙන බිය නිසා විය හැකි බවයි පෙන්වා දෙන්නේ.

තමා පිටුපස මේ ආකාරයට පන්නන්නේ යළි පක්ෂයට එකතු කර ගැනීමේ උත්සාහයක් ලෙසද යන්නත් තමාට සිතෙන බවත් මන්ත්‍රීවරිය අවධාරණය කරනවා.

විනය පරීක්ෂණය

තමා ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බව තමාට දැනුම් දුන් බව සැබෑ මුත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් පැනවූ ඇඳිරි නීතිය කඩ කිරීමට නොහැකි බැවින් ඊට පැමිණීමට නොහැකි බව දැනුම් දුන් බවත් මන්ත්‍රීවරිය සඳහන් කරනවා.

කොවිඩ් වසංගත තත්ත්වය අඩු වූ පසු එම විනය පරීක්ෂණයට සහභාගි වන බව දැනුම් දුන් බවත් ඒ සඳහා දිනයක්ද තමා ඉල්ලා සිටි බවද පෙන්වා දෙන මන්ත්‍රීවරිය එය නොතකා සමගි ජන බලවේග නායකත්වය තනි තීන්දුවක් ගෙන තිබෙන බවයි සඳහන් කරන්නේ.

සමගි ජන බලවේගය දැන් කොටස් 5 කට කැඩී එහි මන්ත්‍රීවරු පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව එළිපිටම විවේචනය කරන තත්ත්වයක් දැන් උද්ගතව තිබෙන බවත් මන්ත්‍රීවරිය සදහන් කරනවා.

සමගි ජන බලවේගය දැන් විහිළු සපයන පක්ෂයක් ලෙසයි මන්ත්‍රීවරිය හඳුන්වන්නේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය  තමන්ව සමගි ජන වේගයෙන් නෙරපීම සම්බන්ධයෙන් මෙම අදහස් පළ කර තිබුණේ සති අන්ත  ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 09 October 2021 16:51

Related items