May 12, 2024

ගුරු විදුහල්පති සටන අඩියක් පස්සට : පාසල් දරුවන් පව් - සාකච්ඡාවක් දෙන්න

විදුහල්පති - ගුරු වර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් නම්‍යතාවයක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේදී පෙන්නුවා.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා අද (8) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ අය - වැය යෝජනාවලින් ගුරු විදුහල්පතිවරුන්ට ලබාදීමට නියමිත දේ පිළිබඳ ඊට පෙර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට විසඳුමක් ලබාදීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

විසදුම් පිළිබඳ සාකච්ඡාවක්

එම සාකච්ඡාව අග්‍රාමාත්‍යවරයා හා පැවැත්වීමට ගුරු වෘත්තිය සමිති වලට අවස්ථාවක් ලබාදෙන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියා.

ඔහුගේ තර්කය වූයේ එළඹෙන මස අයවැය ඉදිරිපත් කරන තුරු නොසිට එහි ගුරු විදුහල්පති ඉල්ලීම් වලට ලබාදී තිබෙන විසඳුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව හා වෘත්තීය සමිති සාකච්ඡා කළහොත් ඒ හරහා ඇතිවන එකඟතාවයන් මත පාසැල් ඉතා ඉක්මනින් ආරම්භ කළ හැකි බවයි.

එම සාකච්ඡාවේදී ආණ්ඩුව පාර්ශවයෙන් ඉදිරිපත් කරන කාරණා සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති වලට ද යම් යම් සංශෝධන ගෙන ඒමටද හැකි බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එම ඉල්ලීම කළේ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගුරු - විදුහල්පති වැටුප් ප්‍රශ්නයට මුදල් අමාත්‍යවරයා අය වැයෙන් ඉතා හොඳ විසඳුම් ලබාදී ඇති බව සඳහන් කිරීම නිසයි.

ආණ්ඩුව වෙනුවෙන් ඊට ප්‍රතිචාර දක්වමින් සභා නායකවරයාද වන අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට ඊට දිනයක් ලබා දෙන බවයි.

ඒ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාට සභා ගැබේ සිටි අතර ඔහුගෙන් දී ඉඩ ලැබුණේ යහපත් ප්‍රතිචාරයක්.

පාසල් දරුවන් ගැන දුක

පාසල් විවෘත කිරීමට නොහැකි වීම මත දිගින් දිගටම පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයද බිඳ වැටී තිබීමත් ඉතා නුදුරේදී පාසල් විවෘත කළ විට ගැටලුවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාම සදහාත් මෙම පියවර ගන්නා ලෙස අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සදහන් කළ අතර අය වැයෙන් ගුරු විදුහල්පති ප්‍රශ්නයට දී ඇති විසඳුම් පිළිබඳ ඉඟියක් ලබා දීමට හැකි දැයි විමසීමක්ද කළා.

ඊට පිළිතුරු දෙමින් ගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කළේ "අනුර අය - වැය රහස් එහෙම ඔක්කොම කියන්න බැහැ."යන්නයි.

එම පිළිතුරට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සභා ගැබෙන් ලැබුණේ සිනාමුසු ප්‍රතිචාර.

ජනතා විමුක්ති පෙරමුණ ගුරු විදුහල්පති වර්ජනයට පූර්ණ සහයෝගය දක්වන පාර්ශවයක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 October 2021 13:28

Related items