May 04, 2024

පොලිස් ඇමතිට නරක කාලයක්: ආණ්ඩුවේම තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කෙනෙක් හැප්පෙයි

September 21, 2021

පාර්ලිමේන්තු ප්‍රශ්න ඇසීමේ වාරයේදී මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සහ ආණ්ඩු පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන චන්දිම වීරක්කොඩි මහතා අතර දෙදෙනාම ප්‍රකාශ කරන දේ ප්‍රතික්ෂේප කර ගැනීමේ තත්ත්වයක් දැක ගන්නට ලැබුණා.

ගිංතොට තුනී ලෑලි ආයතනයේ පාලනාධිකාරි අධිකාරියේ පුද්ගලයෙකුට එරෙහිව නිකුත් කොට ඇති වරෙන්තුවක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වීරක්කොඩි මහතා දිගින් දිගටම පොලීසියට චෝදනා කලා.

වරෙන්තුකරු නිදැල්ලේ

එම පුද්ගලයා ප්‍රසිද්ධියේම පෙනී සිටින බවත් පොලිසිය ඔහුට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා බවත් පෙන්වා දුන් වීරක්කොඩි මන්ත්‍රීවරයා අදාළ ආයතනයේ කොටස්ද මේ වරෙන්තුකරු විසින් ගලවා ගෙන යන සඳහන් කළා.

වීරක්කොඩි මන්ත්‍රීවරයාගේ එම අදහස් ප්‍රතික්ෂේප කළ වීරසේකර අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ පුද්ගලයා මේ වන විට අධිකරණයට ඉදිරිපත් වී වරෙන්තුව අහෝසි කර ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් වූ අදාල වන්දි මුදලක් ගෙවා ඇති බවයි.

වරෙන්තුකරුවන් පසු පස හඹා යෑම

එමෙන්ම මෙම වරෙන්තුව නිකුත් කොට ඇත්තේ ගාල්ල පොලිසියෙන් බවත් පෙන්වා දුන් වීරසේකර අමාත්‍යවරයා මෙය කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් බවත් මන්ත්‍රීවරයා කියන ආකාරයට වරෙන්තුකරුවන් හඹා යෑමට නම් තවත් දහස් ගණනක පිරිසක් පොලිසියට අවශ්‍ය බවත් පෙන්වා දුන්නා.

පෙරළා ඊට ප්‍රතිචාර දක්වමින් වීරක්කොඩි මහතා සඳහන් කළේ ඒ ගෙවා ඇත්තේ සුළු මුදලක් බවත් කිසියම් පිරිසක් විසින් වීරසේකර අමාත්‍යවරයා නොමඟ යවා ඇති බවත් තවත් සේවකයන් විශාල පිරිසකගේ වන්දි මුදල් ගෙවිය යුතුව තිබෙන බවයි.

ඊට වීරසේකර අමාත්‍යවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

දිගින් දිගටම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වීරසේකර අමාත්‍යවරයා සමග ගැටුම් ඇති කර ගන්නා තත්ත්වයක් දක්නට තිබෙනවා.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ජගත් කුමාර මන්ත්‍රීවරයාද වීරසේකර අමාත්‍යවරයා සමග ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධියේම විවාදයක පැටලී සිටිනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 21 September 2021 11:47