May 04, 2024

සිර දඬුවම නිසා කඩාකප්පල් වුණ රන්ජන්ගේ උපාධිය

September 17, 2021

රන්ජන් රාමනායක මහතා සිර දඬුවම් විදීම සඳහා බන්ධනාගාර ගත කිරීම නිසා ඔහු හදාරමින් සිටී උපාධියද කඩාකප්පල් වී තිබෙනවා.

රාමනායක මහතා සිරගත වන විට විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරමින් සිටි තිබෙන්නේ.

ගුරුවරයා වූ මහාචාර්යවරයා

මේ තොරතුරු හෙළිදරවු කරන්නේ විවෘත විශ්ව විද්‍යාලයේ රාමනායක මහතාගේ ගුරුවරයා වූ මහාචාර්ය තියඩෝර් වර්ණකුලසූරියයි.

රාමනායක මහතා සිරගත වීම නිසා එම උපාධිය කඩාකප්පල් වීම පිළිබඳව මහාචාර්යවරයා සිටින්නේ කනස්සල්ලෙන්.

අදාල උපාධිය සඳහා පන්ති වලට ද සහභාගි වූ රාමනායක මහතා දේශන අවසන් වීමෙන් පසු නොදන්නා දෙයක් තිබේ නම් කිසිම චකිතයකින් තොරව ඒ සම්බන්ධයෙන් තමන්ගෙන් විමසූ බවද මහාචාර්යවරයා සඳහන් කරනවා.

රාමනායක මහතා ඉතා නිහතමානී , සුහදශීලී චරිතයක් ලෙස හඳුන්වා දෙන මහාචාර්යවරයා ඔහුට දේශනා සඳහා සහභාගි වීමට හැකි වූයේ පලවෙනි වාරය සඳහා පමණක් බව සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේ නූගතුන් හා උගතුන්

පාර්ලිමේන්තුවේ ඉගෙන ගත්ත අය හා ඉගෙන නොගත් අය අතර වෙනස අද ඉතා හොඳින් දක්නට ලැබෙන බව පෙන්වා දෙන මහාචාර්යවරයා රාමනායක මහතාට අවශ්‍ය වුණේ සමාජ විද්‍යා උපාධිය හදාරා හොඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට බවයි සඳහන් කරන්නේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත මේ වන විට රාමනායක මහතා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ වසර 4 ක සිර දඬුවමක් විඳිමින් සිටින්නේ.

රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා , කලාකරුවන් ඇතුළු බොහෝ පිරිස් ජනපතිවරයාගෙන් ඉල්ලීම්ද කර තිබෙනවා.

Rate this item
(8 votes)
Last modified on Friday, 17 September 2021 01:07