May 19, 2024

ජනපතිගේ ඉල්ලීමට කබ්රාල් බෑ කියලා: "මේක කටු ඔටුන්නක්" - කබ්රාල් දැන් කියයි

September 16, 2021

මහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් බව තමා දන්නා බව ඊයේ(15) එම ධූරයේ වැඩ භාර ගනිමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළා.

මෙරට 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (15) පස්වරුවේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.

තමාට මහ බැංකු අධිපතිධූරය බාර නොදෙන ලෙස ජනාධිපතිවරයාට කීපසැරයක්ම පැවසූ බවත් ජනාධිපතිවරයාත් තමාට කීපසැරයක්ම එය භාරගන්නැයි ප්‍රකාශ කළ බවත් අන්තිම වතාවට ජනාධිපතිවරයා මේක භාරගන්නමයි කියා පැවසූ බවත් කබ්රාල් මහතා පැවසුවා.

ආර්ථිකය තුලනය කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීම තම මූලික සැලැස්ම බවයි ඔහු පෙන්වා දුන්නේ.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහු මෙසේ අදහස් පළ කළා, 

"මම ජනාධිපතිවරයාට කීපසැරයක්ම කිව්වා මෙම රාජකාරිය මට පවරන්නට එපා කියලා. එතුමත් මට කීපසැරයක්ම භාරගන්න කියලා කිව්වා. අන්තිම වතාවට එතුමා කිව්වා මේක භාරගන්නමයි  කියලා. ඉතින් මම පාර්ලිමේන්තුවෙනුත් අයින්වෙලා. රාජ්‍ය අමාත්‍යධුරයෙනුත් අයින්වෙලා. නැවතවරක් මෙම සේවයට එතුමාගේ ඉල්ලීම මත පිවිසෙන්න තීරණය කළා. මම දන්නවා අනිත් අයටත් වඩා හොඳට මෙම වගකීම භාර ගන්නකොට තිබෙන අමාරුව. සැහෙන කටු ඔටුන්නක් ලෙස මම දකින්නේ. මට මතකයි 2006දී එනකොටත් රටේ ආර්ථිකය යම් දුර්වල මට්ටමක තිබුණා. උද්ධමනය ඩබල් ඩිජිට් ගිහින් තිබුණේ. මට මතකයි එතකොට හිටපු නියෝජ්‍ය අධිපතිවරු මට කිව්වා, "ගවනර් මේක උත්සහ කරන්නවත් එපා," කියලා. ඒ වුණාට අපි ඒක කළා. උද්ධමනය අපි අඩු කළා. ඊට පස්සේ මම 12වෙනියා හැටියට මහ බැංකුවෙන් අයින් වෙලා යනකොට විදේශ සංචිත තිබුණා අමෙරිකානු ඩොලර් බිලියන 10.2ක පමණ මුදලක්. අද එනකොට විදේශ සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 4යි. ඊට අමතරව තවත් බිලියන එකහමාරක් විතර තියෙනවා චීන බැංකුවේ. රුපියලේ අගය පිරිහිලා තිබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සහ ලොක්ඩවුන් එක නිසා විරැකියාව වැඩි වේලා. දිළිඳුකමත් වැඩිවෙලා තියෙනවා. ඒ් නිසා අපිට අභියෝග රැසක් තිබෙනවා. විදේශ සංචිත වැඩිකර ගන්න බලාපොරොත්තු වෙනවා. විදේශ ගිණුම පාලනයකර ගන්න අවශ්‍යයි. ඒකත් අපි කරන්න බලාපොරොත්තුවෙනවා. දළ දේශිය නිෂ්පාදිතය වර්ධනය කර ගන්නත් අවශ්‍යයි. යටිතල පහසුකම් සංවර්ධනය කරන්නත් අවශ්‍යයි. රුපියලේ අගය පවත්වාගෙන යන්නත් අවශ්‍යයි. ඒ් සියලු දේවල්ම අප කළ යුතුයි. ඉතින් ඒ නිසා එහෙම කරන්නට නම් මේ පරස්පර විරෝධී කටයුතු පවිච්චිකරගෙන අපිට කරන්නට සිදුවෙනවා යම් කිසි තුලනයක් ලබා ගැනීමට. ඉදිරි මාසය , මාස 2ක,3න 6ය තුළදී මේ තුලනය ඇතිකරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපිට තියෙන්නේ. ඊළඟ විශේෂ අභියෝගය හැටියට. ඒක ලෙසි  වැඩක් නෙමෙයි කියලත් මම දන්නවා. මම හිතන්නේ අපි හැමෝම එකට එකතු වෙලා ගියොත් අපිට ඒක කරන්න පුළුවන් වෙනවා."

හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පෙරේදා (14) සිය ධුරයෙන් විශ්‍රාම ගත්තා.

Rate this item
(0 votes)