April 28, 2024

කබ්රාල්ගේ මන්ත්‍රී පුටුව හිටපු මන්ත්‍රීට - පොහොට්ටුවේ තීන්දුව මහ ලේකම් කියයි

September 13, 2021

අද දින ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා තම මන්ත්‍රිධුරයෙන් ඉවත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා පැවසුවා.

අද (13) බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ  දි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට පක්ෂය තීරණය කළ බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහිදී අදහස් දක්වමින් මහ ලේකම්වරයා මෙසේද අදහස් පළ කළා.

"අද දින ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහින් රාජ්‍ය මුදල් ඇමතිධුරය දරන ගරු අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා තම මන්ත්‍රිධුරයෙන් ඉවත්වීමට නියමිතයි. අද දින ඇතුළත එතුමා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමට නියමිතයි. ඒ වගේම ඒ ඇතිවන පුරප්පාඩුව සඳහා පසුගිය කාලයේ ඉවත්වුණු ජයන්ත කැටගොඩ මැතිතුමා පත්කරන්න කියලා පක්ෂය විසින් මේ වනවිට තීරණය කරලා තිබෙනවා. ඒ වගේම අපේ ලංකාව ඉතාම සාරධර්ම සහිතව ජිවත් වුණු සමාජයක්. මේ කොවිඩ් උවදුරත් එක්ක අපේ සාමජ සාරධර්ම පිරිහෙමින් තියෙනවා කියන එක ගැන අපිට භයක් ඇතිවෙලා තිබෙනවා. මොකද මෙවැනි තත්වයක් යටතේ රටක නොකෙරිය යුතු දේවල් සිදුවෙමින් පවතිනවා. රටක උද්ඝෝෂණය කරමින්, වැඩවර්ජන කරමින් ඓතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න මෙය අවස්ථාවක් නොවේ. මේ අවස්ථාවේ අපි රටක් හැටියට, ජාතියක් හැටියට පටු දේශපාලන අරමුණු තියාගෙන කටයුතු කළොත් අපිට රටක් හැටියට මුහුණ දෙන්න වෙන්නේ ඉතාම අදුරු තත්වයකටයි.  මේ වෙලාවේ අපේ තිබ්බ සාරධර්ම මත පදනම් වෙලා මේ රටේ අනාගතය ගැන හිතලා රට වෙනුවෙන් හිතලා කටයුතු කරන්න කියලා ඉල්ලනවා."

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.

ඔහු එලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ මහ බැංකු නව අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමේ අරමුණින්ය.

Rate this item
(0 votes)