May 19, 2024

නව තනතුර ගැන කබ්රාල් හිතවත් මැති ඇමතින්ට කියපු දේ

September 10, 2021

මුදල් ප්‍රාග්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට යන බවට රාවයක් යනවා.

ඒ කලක් ඔහු දැරූ මහබැංකු අධිපතිකම යළිත් භාරගැනීම සඳහා.

ස්ථාවරය ප්‍රකාශ කිරීම

මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා මෙතෙක් කර නැහැ.

එහෙත් ඔහු ඒ තීරණය සම්බන්ධයෙන් සිය හිතවත් මැති ඇමතිවරුන් සමග යම් යම් කරුණු ප්‍රකාශ කොට තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ඒ ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී.

ජනපති කළ ඉල්ලීම

එම ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට ජනපතිවරයා තමන්ගෙන් මහ බැංකු අධිපති ධුරය යළි භාර ගන්නා ලෙස ඉල්ලා තිබෙන බවයි කබ්රාල් මහතා ඔවුන් අමතා ප්‍රකාශ කොට තිබෙන්නේ.

එම ධුරයේ කටයුතු කරද්දී තමන්ට අවශ්‍ය කරන ඇතැම් දෑ සම්බන්ධයෙන් ද ජනපතිවරයා දැනුවත් කළ බවයි කබ්රාල් මහතා එම පිරිස අමතා සඳහන් කර තිබෙන්නේ.

රට බරපතළ මූල්‍ය අර්බුදයක සිටින මේ අවස්ථාවේ තමන්ට ඊට විසඳුම් සෙවිය හැකි බවද තමන් ජනපතිවරයාට සඳහන් කළ බවත් කබ්රාල් මහතා එම මැති ඇමති පිරිස අමතා සඳහන් කර තිබෙනවා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර 2006 සිට 2015 දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කලා.

ඒ මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරය දරද්දී.

කැබිනට් මණ්ඩල සංශෝධනය

මීට ටික දිනකට පෙර සිදු වූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නාමල් රාජපක්ෂ මහතාට දැනට දරන අමාත්‍ය ධුරවලට අමතරව සංවර්ධන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යධූරය නමින් නව අමාත්‍ය ධූරයක් ලබා දුන්නා.

ඊට එතෙක් කබ්රාල් මහතා යටතේ තිබූ විෂය පථයන් රැසක්ම පවරා තිබීම මත තමන් වෙත ඉතිරිව තිබෙන ඉතිරි ආයතනයද නාමල් රාජපක්ෂ මහතාට පවරා දෙන ලෙස කබ්රාල් මහතා ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බව වාර්තා වුණා.

තමා එවන් ඉල්ලීමක් ජනපතිවරයාගෙන් කලේ තමන් යටතේ තිබූ එම ආයතනයද නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් ආයතන හා එකට බැඳී පවතින නිසා බවයි කබ්රාල් මහතා ඒ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් සඳහන් කළේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 10 September 2021 12:36