May 08, 2024

(EXCLUSIVE) ශ්‍රීලනිපය වැඩ අරඹයි - පැරණි සන්ධාන දෙකක් යළි සක්‍රීය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවා තිබෙන සන්ධාන දෙකක් යළි පණ ගැන්වීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කලා.

ඒ අනුව 1994 මහ මැතිවරණය සඳහා පිහිට වූ පොදු පෙරමුණ සහ 2004 මහ මැතිවරණය සඳහා පිහිට වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය යන සන්ධාන දෙකම යළි සක්‍රිය කරන ලෙස එම සන්ධාන දෙකේ මහ ලේකම්වරුන්ට මධ්‍යම කාරක සභාවේ දී අනුමැතිය ලබා දුන් බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

නව සන්ධානයකට උචිතම කාලය

ශ්‍රී.ල.නී.පය මුල් වූ නව සන්ධානයක් ගොඩනැගීමට මේ උචිතම කාලවේලාව බව පක්ෂ මධ්‍යම කාරක සභාවේ මතය වන බව මහාචාර්යවරයා සඳහන් කරනවා.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී.ල.නි.පයේ හිටපු මහ ලේකම්වරයකු මෙන්ම වැඩ බැලූ සභාපතිවරයෙකු ද වනවා.

පොදු පෙරමුණ ලේකම් ධූරය ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා විසින්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින්ද දරනු ලබනවා.

ආණ්ඩු බලය ගත් සන්ධාන

පොදු පෙරමුණේ සමාරම්භක ලේකම්වරයා වූයේ දිවංගත අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාරම්භක මහ ලේකම්වරයා වූයේ වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ සුසිල් ප්‍රේමජයන්ත් මහතායි.

පොදු පෙරමුණ සන්ධානය 1994 හා 2000 වසර වල පැවැත්වූ මහ මැතිවරණවලදී බලය ලබා ගත් අතර 2001 මහ මැතිවරණයේදී පරාජයට පත් වූවා.

ඉන්පසුව 2004 මහමැතිවරණය ඉලක්ක කොට පිහිටවූ එක්සත් ජනතා නිදහස් සන්ධානය 2004 හා 2010 වසර වල ආණ්ඩු බලය ලබා ගැනීමට සමත් වුණා.

එය 2015 මහ මැතිවරණයේදී පරාජයට පත්වුණා.

ශ්‍රී.ල.නි.පය මේ වන විට සිටින්නේ පොදුජන පෙරමුණ සන්ධානයේ සන්ධානගත පක්ෂයක් ලෙසයි.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 31 August 2021 00:35