April 19, 2024

ආණ්ඩු බලය ගන්න පෙර පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු ගැන මෛත්‍රී හෙළිකරයි Featured

අලුත් සන්ධානය

නව සන්ධානයක් ගොඩ නැගීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනාවරණය කරනවා.

එම නව සන්ධානය නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව යි ඔහු ප්‍රකාශ කරන්නේ.

නව ප්‍රතිපත්ති මාලාවක් සමග නව සන්ධානය ගොඩ නැගීමට නියමිත බවත් එහි මූලික කටයුතු මේවන විටත් ආරම්භ කොට ඇති බවත් ඔහු පවසා සිටියා.

බුලත් කොළය ලකුණින් පෙර මැතිවරණවල දී තරගවැදුණු එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි සක්‍රීයකරවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර මෙලෙස අලුතින් ආරම්භ කරන්නේ බුලත් කොළයදැයි සිරිසේන මහතා නිශ්චිතව සඳහන් කළේ නැහැ.

සාකච්ඡා ඇරඹෙයි

මේ අතර එම කටයුත්ත සඳහා දේශපාලන පක්ෂ ගණනාවක් සමග මේවන විටත් සාකච්ඡා ආරම්භ කොට ඇති බව ද ඔහු හෙළි කළා.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වාමවාදී සහ ප්‍රගතිශීලී පක්ෂ රැසක් ඒ අතරවන බව යි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග ද නිදහස් පක්ෂය පසුගිය දිනෙක සාකච්ඡා පැවැත්වූ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔවුන් ජනතා විමුක්ති පෙරමුණෙහි ක්‍රියාකාරීන් සමග ද නිල නොවන සාකච්ඡාවන් කිහිපයක් පවත්වා ඇති බවට යි.

කෙසේ වෙතත් තමන් කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක “වලිගය” වීමට සූදානම් නැති බව ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දා අවධාරණය කළා.

පොහොට්ටුවේ බොරු පොරොන්දු

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමග ඇති ගැටළුව පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළා.

පොදුජන පෙරමුණ සමග නිදහස් පක්ෂය එක් වීමේ දී අත්සන් කළ ගිවිසුම තුළ ඇති එකඟතාවන්ට අනුව සිය පක්ෂයට ලැබිය යුතු දෑ නොලැබුණු බවට ද සිරිසේන මහතා චෝදනා නැගුවා.

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු දේශපාලන පත් වීම් සිදු කිරීමේ දී නිදහස් පක්ෂයට තුනෙන් එකක් ලබා දෙන බවට එකඟ වී තිබූ බව ඔහු පවසනවා.

එහෙත් ආණ්ඩු බලය ලබා ගැනීමෙන් අනතුරුව සිය පක්ෂයට තුනෙන් එකක් තබා නවයෙන් එකක් හෝ නොලැබුණු බවට යි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් චෝදනා කර සිටියේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 24 January 2022 09:25

Related items