May 18, 2024

පසුබෑමක් ගැන කියමින් ඇමැති බැසිල්ගෙන් කැබිනට් පත්‍රිකාවක්

රාජ්‍ය ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා සහනදායී කොන්දේසි යටතේ කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වෙළඳපොළ යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මත පූර්ණ හෝ අර්ධ රාජ්‍ය ව්‍යාපාර 282 ක් පමණ පසුබෑමකට ලක්ව තිබීම හේතුවෙන්.

එම තත්ත්වය මත අදාල ව්‍යාපාරවලට එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සපයා ගැනීම අපහසුවී තිබෙනවා.

එම ව්‍යාපාර සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා මහබැංකුවේ අධීක්ෂණය යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවීම සඳහා අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා විසින්.

 2020 වර්ෂය අවසානයේදී කොවිඩ් - 19 වසංගත තත්ත්වය රට පුරා ව්‍යාප්ත වීමත් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයන්ට අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා රජය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ "සෞභාග්‍ය කොවිඩ් - 19 යළි නගා සිටුවීමේ පහසුකම" නැමති සහනදායී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරිණි.

මේ වන විට එම ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයින් 53,200කට පමණ රුපියල් බිලියන 156කට ආසන්න මුදලක් ලබා දී ඇත.

ඒ අනුව, එකී ණය යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය ව්‍යාපාරයන්හි කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවස්ථාව සලසා දීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 August 2021 00:49