May 18, 2024

මෙරටදී නිපදවූ තවත් ඖෂධ දෙකක් අද සිට වෙළෙඳපොලට

භාණ්ඩ ආනයනය අවම කර දේශීය නිෂ්පාදනය ඉහළ නංවමින් විදේශ විනිමය මෙරට තුළ ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (06) රත්මලාන ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දී පැවැති දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ඖෂධ වර්ග දෙකක් වෙළෙඳ පොළට නිකුත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

වේදනා නාශකයක් වන ට්‍රැමඩෝල් (Tramadol) සහ තයිරොක්සීන් ඌණතාව වෙනුවෙන් භාවිත කෙරෙන ලෙවොතයිරොක්සීන් (Levothyroxine) යන ඖෂධ වෙළෙඳ පොළට නිකුත් කිරීම මෙහි දී සිදු විය.

ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 50 කරල් මිලියන 9.8ක් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ භාවිත වන අතර ලෙවොතයිරොක්සීන් මිලිග්‍රෑම් 50 පෙති මිලියන 98ක් පමණ වාර්ෂිකව භාවිත කෙරේ. මෙම ඖෂධ ආනයනය නතර කිරීම මගින් වාර්ෂික ඉතිරි වන මුදල රුපියල් මිලියන 88කි.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාවට අනුව දේශීය නිෂ්පාදනය ප්‍රමුඛ කරගත් ආර්ථිකයක් ගොඩනැංවීමට රජය මේ වන විට කටයුතු කරමින් ඇති අතර එහි මූලික පියවරක් ලෙස තෝරා ගත් ආහාර ද්‍රව්‍ය 16ක ආනයනය සීමා කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා එතුළින් මේ වන විට සාර්ථක ප්‍රථිපල ළගා කර ගැනීමට හැකි වී ඇති බව ද කියා සිටියා.

දේශීය ගොවියා කෙරෙහි විශ්වාසය තබමින් දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළා සේ ම ඖෂධ නිෂ්පාදනය ඇතුළු අනෙකුත් නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි උන්නතිය වෙනුවෙන් රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කරමින් සිටින බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී සඳහන් කළා.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජපක්ෂ මහතා සඳහන් කළේ පසුගිය රජය විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතයන වෙත ගෙවීමට විශාල ණය ප්‍රමාණයක් ඉතිරි කර තිබූ අතර එම ණය ගෙවා දැමීමට තමාට පෙර මුදල් අමාත්‍ය ධුරය දැරූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවයි.

ඒ අතර ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ගෙවීමට තිබූ රුපියල් මිලියන 1945ක මුදල ද පියවීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යවරයා මෙහි දී පැවසුවා. ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඖෂධවලින් 20%ක් පමණක් මේ වන විට දේශීය වශයෙන් නිපදවන අතර එය 50% දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව ද මුදල් අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)