May 17, 2024

දින 97කට පසු කලාකරුවන් රන්ජන්ට නිදහස ඉල්ලීම රඟපෑමක්?

රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා කලාකරුවන් මාධ්‍ය හමුවක් පැවැත්වූවා.

දින 97 කට පසු වූ රන්ජන් මතක් වීම

එහිදී පක්ෂ භේදයකින් තොරව සියලු කලාකරුවන් එකතු වූ බව සැබෑවක්.

එහෙත් එහිදී එහිදී වැඩිපුරම දක්නට ලැබුණේ පොදු ජන පෙරමුණට සම්බන්ධ කලාකරුවන්.

කලාකරුවන් රාමනායක මහතාට මෙසේ ජනපති සමාව ඉල්ලා සිටියේ ඔහු සිරගත කොට දින 97 පිරෙන විටයි.

කලාකරුවන් සමාව ඉල්ලන විදිහ

කලාකරුවන් මෙසේ මාධ්‍ය හමුවක් තබමින් වාචිකව රාමනායක මහතාට ජනපති සමාව ඉල්ලා සිටියට එවන් සමාවක් ලබා දීමට ජනපතිවරයාට බලයක් නැහැ.

ඒ සඳහා රාමනායක මහතාට සමීප ඥාතියෙකු විසින් ඉල්ලීමක් කළ යුතුව තිබෙනවා.

සජිත් ගත් වගකීම

එහෙත් ඒ වගකීම භාරගෙන විපක්ෂ නායක සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේ මීට මාස තුන හමාරකට පෙර සිංහල හින්දු අලුත් අවුරුද්දට ජනපතිට සුභ පැතූ අවස්ථාවේ.

ඒ වන විට රාමනායක මහතාව සිරගත කොට මාසයක්වත් පිරී තිබුණේ නැහැ.

ජනපති හා විපක්ෂ නායකවරයා අතර සිදු වූ එම සාකච්ඡාවේදී ඊට අවශ්‍යය ලියකියවිලි සකස් කර දෙන මෙන් ජනපතිවරයා විපක්ෂ නායකවරයාට දැන්වූවා.

ලියකියවිලි සියල්ල සූදානම්

ඒ අනුව විපක්ෂ නායකවරයා ඒ අදාල ලියකියවිලි මේ වන විටත් ජනපතිවරයා වෙත ඉදිරිපත් කොට හමාරයි.

ලැබෙන ආරංචි මාර්ග වලට අනුව ප්‍රකාශ වෙන්නේ ඉතා නුදුරේදීම රාමනායක මහතාට ජනපති නිදහස ලැබෙන බවයි.

මේ අනුව රාමනායක මහතා සිරගත කොට දින සියයක් සපිරෙන තුරූ නිහඬව සිටි කලාකරුවන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස මාධ්‍ය ඉදිරියේ ඉල්ලා සිටින්නේ රාමනායක මහතා නිදහස් වන බව දැන දැන බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 22:09