May 03, 2024

විපක්ෂයේ සියළු පක්ෂ එක් වෙයි - හැමෝම ඉදිරියේ TNA අමුතු කතාවක

පක්ෂ සියල්ල එක තැනකට

විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් එක්ව අද (17) කොළඹ දී විපක්ෂයේ සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වුණා.

මෙම සමුළුවට සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලී සංවිධානය, සමස්ත ලංකා මහජන පක්ෂය, කඳුරට ජනතා පෙරමුණ, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ආරම්භ කිරීමට යන නව පක්ෂයේ නියෝජිතයෙකු ඇතුළු විපක්ෂයේ තවත් සුළු පක්ෂ කිහිපයක්ම එක්ව සිටියා.

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය විසින් මෙම සමුළුව සංවිධානය කොට තිබුණා.

එහි ප්‍රධානත්වය දරන්නේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතා යි.

විපක්ෂය එක් විය යුතුයි

මෙරට වත්මන් දේශපාලන ප්‍රවණතාවන් මෙන්ම ඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳ මෙහි දී අදහස් හුවමාරු වූ බව වාර්තා වෙනවා.

මෙම සමුළුවේ මුලසුන හොබවනු ලැබූයේ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් විසින්.

සමුළුව අමතමින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කර සිටියේ රටට අවශ්‍ය ප්‍රායෝගික විසඳුම් ලබා දීමට නම් විපක්ෂයේ සියළු බලවේග එක් විය යුතු බවයි.

සුමන්තිරන්ගෙන් අමුතු කතාවක්

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම අවස්ථාවට එක්ව සිට එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ සෑම අවස්ථාවක දී ම තම සන්ධානය විපක්ෂය සමග පෙනී සිටය ද විපක්ෂයේ ප්‍රධානීන් විසින් තමන්ව දිගින් දිගටම රැවටීමට ලක් කළ බවයි. 

එහෙයින් දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුමක් දෙන බවට පැහැදිළි ස්ථාවර ප්‍රකාශයක් නොකරන්නේ නම් තවදුරටත් විපක්ෂයේ බලවේගත් සමග එක්ව ගමනක් යාමට තම සන්ධානය බලාපොරොත්තු නොවන බව යි.

මෙරට තුළ විසඳීමට ඇති ප්‍රධාන ගැටළුව වන්නේ දෙමළ ජනතාවට ඇති ගැටළුව බවත්, ඒ පිළිබඳව සිංහල ජනතාවට ද තමන් විවෘතව පවසා ඇති බවත් සුමන්තිරන් මහතා පවසා සිටියා.

එජාපයත් එයි

එක්සත් ජාතික පක්ෂය ද මෙම සමුළුවට එක්ව සිටියා.

එම පක්ෂය නියෝජනය කරමින් සහභාගී වූයේ එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා යි.

ඔහු පවසා සිටියේ මෙරට ගැටළුවලට විසඳුම් ලෙස සිදු කළ යුත්තේ රටට ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒම බව යි.

 

විපක්ෂය එක් වුණා කියලා ප්‍රශ්ණ විසඳෙන්නෙ නෑ

මෙම අවස්ථාවට එක් වූ පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව මූල්‍ය බංකොලොත්භාවයේ පළමු පියවර තබා ඇති බවයි. 

ආණ්ඩුව කෙරෙහි පමණක් නොව විපක්ෂය කෙරෙහි ද මේවන විට සමාජය තුළ අවිශ්වාසයක් මතුව ඇති බව ඔහු අවධාරණය කළා. 

විපක්ෂයේ සියළු බලවේග ලෙස එක් වීම කළ හැකි නමුත් එලෙස එක් වූ පමණින් රටේ ප්‍රශ්ණ විසඳෙන්නේ නැති බව යි රණවක මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

එය 2015 දී සිදුවූ එකතුවේ දී ද පෙනීගිය බවත් එම නිසා මේ පිළිබඳව අලුතින් සිතා අලුත් ගමන් මගක් අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළා.

මිනිස්සුන්ට අපේ දිනුම සත පහකට වැඩක් නෑ

 

සමුළුවට සහභාගී වූ රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ විපක්ෂයේ බලවේග මැතිවරණ ජයගන්නේ ද නැද්ද යන්න පිළිබඳ ජනතාවට "සත පහක" වැඩක් නැති බව යි. 

මෙම ක්‍රමය තුළ විපක්ෂය විසින් රාජ්‍ය බලය ලබා ගත්ත ද වසරක් පමණ ගතවන විට යළිත් තමන් ද්‍රෝහීන් බවට පත්වන බව යි ඔහු පෙන්වා දුන්නේ. 

එම නිසා මෙරටට ඔබින නිවැරදි ව්‍යවස්ථාවක් සහ මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම මීළඟ ආණ්ඩුවකින් සිදු කළ යුතු බව ඔහු පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 17 July 2021 19:56