May 09, 2024

බල පෙරලියක්! ශ්‍රීලනිපය බලය අල්ලයි

මහියංගනය ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයකු තෝරා ගැනීම සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී පාලක එක්සත් ජාතික පක්ෂ සභාපති අපේක්ෂක හිටපු සභාපති කරූ වීරරත්න මහතා පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභාපති තරගයට ඉදිරිපත් වූ කේ.පී. ගුණවර්ධන මහතා නව සභාපති ලෙස තේරී පත්විය.

ඌව පළාත්පාලන කොමසාරිස් ජී.ඒ.එම්.එස්.පී.අඹන්වල මහත්මියගේ මූලිකත්වයෙන් මෙම ඡන්ද විමසීම පැවැත්විණි.

නව සභාපති තනතුරට එක්සත් ජාතික පක්ෂයේ වසන්ත නයනජීත් එජාපයේම හිටපු සභාපති කරූ වීරරත්නගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේ.පී.ගුණවර්ධන යන තිදෙනාගේ නම් යෝජනා විය.

නව සභාපති තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කළ අතර හිටපු සභාපති කරූ වීරරත්න (එජාප) මහතාට පක්ෂව ඡන්ද හයක් ද, වසන්ත නයනජිත් (එජාප) මහතාට පක්ෂව ඡන්ද පහක් ද, කේ.පී.ගුණවර්ධන (ශ්‍රිලනිප) මහතාට පක්ෂව ඡන්ද අටක් ද ලැබී තිබුණි. ඡන්ද තුනක් ප්‍රතික්ෂේප විය.

අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් වූ අවස්ථාවක එක් අපෙක්ෂකයකුවත් සියයට 50ක ප්‍රතිශතක් ලබා නොගතහොත් අවම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපෙක්ෂකයා ඉවත් කර වැඩිම ඡන්ද ලබාගත් දෙදෙනා අතර නැවත ඡන්දයක් විමසීම සඳහා කොමසාරිස්වරියට ලැබී ඇති බලතල අනුව නැවත ඡන්දයකට විමසිමට තීරණය විය.

ඒ අනුව දෙවනවරටත් පැවැති ඡන්ද විමසීමේදී හිටපු සභාපති කරූ වීරරත්න මහතා ඡන්ද හතක් ද, කේ.පී. ගුණවර්ධන මහතා ඡන්ද 12ක් ද, ලබාගත් අතර ඡන්ද තුනක් ප්‍රතික්ෂේප විය. ඒ අනුව වැඩි ඡන්ද පහකින් මහියංගන ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කේ.පී.ගුණවර්ධන මහතා තේරි පත්විය.

Rate this item
(2 votes)
Last modified on Friday, 16 July 2021 09:41