May 09, 2024

ශ්‍රීලනිපය ඇතුළෙත් පොහොට්ටු පිලක්: ප්‍රබලයන් 4ක් වෙනම සාකච්ඡාවක - නම් ගම් එලියට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගී ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා වෙන්නේ.

වත්මන් පොදුජන පෙරමුණ ආණ්ඩුව තුළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්ද ඇතුළත්ව මන්ත්‍රීධූර 17 ක් ශ්‍රී.ල.නි.ප යට හිමිව තිබෙන අතර එම කණ්ඩායමෙන් ප්‍රබලයන් 4 දෙනකු ඇතුළු 5 දෙනෙක් සෘජුවම පොදුජන පෙරමුණ ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කොට ඇති බවයි එම ආරංචි මාර්ග අවධාරණය කරන්නේ.

බැසිල් දිවුරුම් දීමට පෙර සාකච්ඡාවක්

බැසිල් රාජපක්ෂ මහතා නව අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් ඉකුත් 8 වැනිදාට දින තුනකට පෙර එනම් 5 වැනිදා ශ්‍රී.ලනි.ප යේ සහ වත්මන් ආණ්ඩුවේ වගකිවයුතු තනතුරු දරන 4 දෙනෙකු වෙනම රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ දී වන අතර ඊට අලගියවන්න මහතාට අමතරව ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනා වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර , රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන්  සහභාගි වී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

කලක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ඉතා කිට්ටුවන්තයෙකු ලෙස කටයුතු කළ අලගියවන්න මහතා මේ වන විට බැසිල් රාජපක්ෂ මහතාට ඉතා සමීපව කටයුතු කරනවා.

පක්ෂයේ ප්‍රධාන තනතුරු දරන්නන්

නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන අතර දුමින්ද දිසානායක මහතා පක්ෂයේ ජාතික සංවිධායකවරයාද වේ.

එම සාකච්ඡාවේදී ආණ්ඩුව සමග ඉදිරි දේශපාලන ගමන යෑම පිළිබඳව තීන්දුවකට පැමිණ තිබෙන අතර එම කණ්ඩායමට සුරේෂ් රාගවන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ද ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ භූමිකාව

සුරේෂ් රාගවන් මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ මහතාගේ ඉතාමත්ම කිට්ටු හිතවතෙකු වන අතර ශ්‍රී.ල.නී.පය සිය ජාතික ලැයිස්තු අපේක්ෂකයන් දෙදෙනා ලෙස ඉදිරිපත් කළ අයගෙන් එක් අයෙක් වනවා.

රාඝවන් මහතාගේ නම දෙවනියට තිබූ මුත් මහ මැතිවරණයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී.ල.නි.පයේ මතය නොවිමසා සිය තනි කැමැත්තට රාඝවන් මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ලබාදීම පොදුජන පෙරමුණ හා ශ්‍රී.ල.නි පය අතර අර්බුද ඇතිවීමට ආරම්භය ලබා දුන් අවස්ථාව ලෙසද සැලකෙනවා.

මධ්‍යම කාරක සභාවේ තීරණය

මේ අතර ඊයේ (8) පැවැති ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙන අතර ඊට එහි අති බහුතරයකගේ කැමැත්ත පළ වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම රැස්වීමට ශ්‍රී.ල.නි.ප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද සහභාගි වී ඇති අතර ඒ පිරිස අතර වෙනම සාකච්ඡාවක් පැවැත් වූ මැති ඇමතිවරුන් හතර දෙනාද සිට තිබුණත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව කිසිඳු අදහසක් ප්‍රකාශ කොට නැති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

යම් හෙයකින් ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවට සහය දීමට තීරණය කොට තිබෙන කණ්ඩායම පක්ෂයේ මතයට පිටින් ගොස් ආණ්ඩුවේ තනතුරු දරමින් ආණ්ඩුවත් සමග දිගටම කටයුතු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්න.

ශ්‍රීලනිපය දිය කිරීම

මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිත්වය දරද්දී ශ්‍රී.ල.නි.පයේ අති බහුතර කණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂය ලෙස කඩා එය පසුව පොදුජන පෙරමුණ නම් පක්ෂයක් බවට පරිවර්තනය කළ අතර එහිදී ශ්‍රී.ල.නි.පයේ ඉතිරි වුණේ ඉතා සීමිත පිරිසක්.

මෙම නව ප්‍රවණතාවය පිටුපස සිටින්නේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා බවටයි තොරතුරු හෙළිදරව් වන්නේ.


 

Rate this item
(0 votes)
Last modified on Friday, 09 July 2021 19:38