May 17, 2024

පාසල් ගුරුවරුන්ට එන්නත් ලබා දීම ලබන සඳුදා සිට

පසුගිය දා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි සතියක් ඇතුළත දිවයිනේ සියලු ම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන මේ මස 12වෙනි සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

ඒ අනුව මෙරට පාසල් 10155ක් වන සියලු ම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇති බව ද ඒ මහතා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බැව පැවසූයේ අද (07) ඉසුරුපාය පරිශ්‍රයේ දී මාධ්‍ය අමතමිනි.

අතිගරු ජනාධිපතිතුමාගේ සෘජු මැදිහත්වීම නිසා මෙම කටයුත්ත ඉතා ඉක්මනින් අවසන් කරගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව අද උදෑසන සියලු ම පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ සෞඛ්‍ය අංශ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව මෙම තීරණයට එකඟ වුණා." යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව විදුහල්පතිවරු සහාය කාර්යය මණ්ඩලයක් පත්කොට ඒ ඒ මධ්‍යස්ථානවලට යවා ගුරුවරුන් හඳුනා ගැනීම සිදුකරනු ලබන අතර සියලු ම ගුරුවරුන්ට ප්‍රමුඛ කණ්ඩායමක් ලෙස සලකා, පාසල් හැකිතාක් ඉක්මනින් විවෘත කිරීමට හැකිවන පරිදි, ප්‍රථම පියවර වශයෙන් එන්නත්කරණය සිදු කෙරෙනවා.

එමෙන් ම දූ දරුවන් සඳහා පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ පිරිවෙන් විවෘත කිරීමට අපේක්ෂිත ය.

මේ අයුරින් පාසල් දිගින් දිගට ම වසා තැබීම කළ නොහැකි අතර මෙම වැඩපිළිවෙළ ඉක්මනින් අවසන් කල හැකි බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.

Rate this item
(0 votes)