May 06, 2024

නැවේ ඉරණම තවත් පැය කිහිපයකින් විසඳෙන ලකුණු!

image host

මේවන විට කොළඹ වරායට ඔබ්බෙන් ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වනු ඇතැයි අපේක්ෂා කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ දී නෞකාව ගිලී යනු ඇතැයි ඔවුන් අනුමාන කරනවා.

නෞකාවේ ගින්න තවදුරටත් පැතිරීම හමුවේ එවැනි අනතුරක් සිදුවීමේ වැඩි අවදානමක් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළා.

සතියක කාලයක් තිස්සේ නෞකාව ගිනිගනිමින් පවතින අතර එය නෞකාව පුරා වර්ධනය වූයේ පෙරේදා (25) ඇති වූ පිපිරීමත් සමග යි.

දින ගණනාවක ගින්න හේතුවෙන් නෞකාවේ ලෝහ කොටස් අධික රත්වීමකට භාජනය වී තිබෙනවා.

මෙලෙස අධික ලෙස රත් වුණු ලෝහ කොටස් සිසිල් සාගර ජලය මතුපිට පවතින නිසා ප්‍රසාරණ සහ සංකෝචන ක්‍රියාවන්ට භාජනය වීමෙන් කැඩී යාමේ ඉඩකඩ ද පවතිනවා.

නෞකාව දෙකට කැඩී වෙන් වීමේ අවදානමක් මතුව ඇති බව නාවික විශේෂඥයින් පෙරේදා (25) ප්‍රකාශ කළේ ඒ අනුවයි.

කෙසේ නමුත් නෞකාව මුහුදුබත් වුවහොත් මේවන විට එහි පවතින දැඩි ගින්න නිවී යනු ඇති නමුත් නෞකාවේ ඇති ඉන්ධන සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය සියල්ල සාගර ජලයට මුසු වීම සිදුවීම අනිවාර්යයයි.

එලෙස නෞකාව ගිලී ගියහොත් ඒ හරහා විශාල පරිසර හානියක් සිදු විය හැකි බවට විශේෂඥ කණ්ඩායම් අනතුරු අඟවනවා.

එමෙන්ම එසේ සිදුවුවහොත් එය මෑත ඉතිහාසයේ මෙරට සිදුවන දරුණුතම පරිසර ඛේදවාචකයක් වනු බවට යි පරිසරවේදීන් බිය පළ කරන්නේ.

ගිලී යාමෙන් අනතුරුව නෞකාවෙන් මහාපරිමාන තෙල් හෝ රසායනික කාන්දුවක් ඇති වුවහොත් එම තෙල් හෝ රසායන ද්‍රව්‍ය වෙරළ කරා ළඟාවීම අනිවාර්යෙන් සිදුවනක්.

එවැන්නකින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය බරපතල තර්ජනයකට ඇතිවිය හැකි බවට මත පළ වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මුහුදු සීමාව තල්මසුන්, ඩොල්ෆීන් සහ කැස්බෑවුන් ආදී එකී නොකී වටිනා ජෛව සම්පත් රැසකට වාසභූමි සපයන මුහුදු ප්‍රදේශයක් වන බැවින් එම සතුන්ගේ ජීවිත පිළිබඳ ද මෙහි දී ගැටළුවක් මතුවනවා.

තව ද වෙරළාශ්‍රිතව පිහිටි සංවේදී පරිසර පද්ධති රැසක් මෙරට වටා පිහිටා ඇති අතර මෙවැනි පරිසර හානියක දී සිදුවිය හැකි හානිය සුළු පටු නොවනු ඇති.

ජලජ ජීවීන්ට මෙවැනිනකින් දැඩි හානි සිදුවන බැවින් එය ධීවර කර්මාන්තයට ද එල්ල විය හැකි තර්ජනයක්. 

එමෙන්ම ලොව සුන්දරතම වෙරළ තීර ලැයිස්තු අතර පවතින මෙරට වෙරළ තීර මත තෙල් තට්ටු තැන්පත් වුවහොත් එය සංචාරක කර්මාන්තයට දිගුකාලීනව බලපෑම් ඇතිකිරීමට සමත්වන බව නොඅනුමානයි.

එපමණක් නොව මෙවැන්නක් හමුවේ ශ්‍රී ලංකා වාසීන්ට සෞඛ්‍ය ගැටළු පවා ඇතිවීමේ අවදානමක් පවතිනවා.

මෙම නෞකාව තුළ ඉන්ධන ටොන් විශාළ ප්‍රමාණයක් ඇති බවයි පැවසෙන්නේ.

image host
Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 June 2021 17:12