April 24, 2024

තුන්කොන් පෙමක් නිසා ඇතෙකුට අවාසනාවන්ත ඉරණමක්

කැකිරාව, මිරිස්වත්ත රක්ෂිතයේ වැටී සිටි ඇතෙකු සොයා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වී තිබෙනවා.

පසුව අනාවරණය වී ඇත්තේ එම සත්ත්වයා කලාවැව ජාතික වනෝද්‍යානයේ වෙසෙන “බරණ” නමැති හස්තියා බව යි.

එම ඇතා දළ පූට්ටුවෙකු ද වනවා.

තවත් ඇතෙකු සමග ඇති කරගත් ද්වන්ධ සටනකින් තුවාල ලබා මෙම සත්ත්වයා මෙලෙස වැටී සිට ඇති බව ගනේවල්පොල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාල ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ඇතින්නක් හා සම්බන්ධ “තුන් කොන් ප්‍රේමයක්” මුල් කරගනිමින් මෙම සටන ආරම්භ වී ඇති බව යි.

නිර්වින්දනය කොට එම සත්ත්වයාට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පශූ වෛද්‍ය නිලධාරීන් කටයුතු කර ඇති අතර ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහය ඇතිව එම කටයුත්ත සිදු කරන්නේ අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුලු පශු වෛද්‍ය කණ්ඩායමක් විසින්.

වනජීවී නිලධාරීන් සැක කරන්නේ මෙම ඇත් පොරය මීට දින කිහිපයකට පෙර සිදුව ඇති බව යි.

බරණට පහර දී ඇති අනෙක් ඇතා කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

පහරකෑම්වලින් බරණ හස්තියාගේ සිරුරෙහි ස්ථාන රැසක් තුවාල වී තිබෙනවා.

බරණගේ දළ යුවල කෙලවර කතිරයක් ආකාරයෙන් එක මත එක පිහිටන ආකාරයෙන් පූට්ටු වී තිබෙන අතර එම දළ පිහිටීම මෙවන් සටන්වල දී බරණට අවාසියක් වී ඇති බව යි වනජීවී නිලධාරීන් අප වෙත ප්‍රකාශ කළේ.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 26 January 2022 06:16