May 19, 2024

(EXCLUSIVE) රට වහන්න කලින් දෙවතාවක් හිතන්න: වහන අයගෙන් රාජ්‍ය ඇමති ඉල්ලයි Featured

රට වසා දැමීම සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු බව මුදල් , මුදල් ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

රට වසා දැමීම හරහා රටේ නිෂ්පාදන ආර්ථිකයට එල්ල වන දරුණු ප්‍රතිවිපාක පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

කෝවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ තීන්දු තීරණ ගන්නා සෞඛ්‍ය ඇතුළු වගකිව යුතු පාර්ශව විවිධ වෛද්‍ය සංගම් රට වසා දැමීම සඳහා කරන ඉල්ලීමට ඇහුම්කන් දෙන අතරතුර රටේ නිෂ්පාදිත ආර්ථිකයට වන්නේ කුමක්දැයි යන්න පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවත් ඒ ගැන අවබෝධයක් ලබාගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ සති අන්තයත් අළලා සතියක පමණ කාලයක් රට වසා දැමීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බැව් සඳහන් කරන ලදී.

රට වසා දැමීමෙන් නිෂ්පාදිත ආර්ථිකයට සිදුවන පාඩුව මෙන්ම බලපෑම් නිරාකරණය කිරීම රට විවෘත කිරීමෙන් පසු තම පාර්ශව වෙත පැවරෙන ඉතා අසීරු වගකීමක් බව රාජ්‍ය අමාත්‍යවරයා විශේෂයෙන්ම අවධාරණය කරයි.

සාමාන්‍යයෙන් දිනක් රට වසා දැමීමෙන් රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් දේශීය ආර්ථිකයට සිදුවන බවට ගණන් බලා තිබෙන බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා සතියක් රට වසා තැබූ වුවහොත් එම ප්‍රමාණය කෝටි 10000 ඉක්මවන බවද හෙළිදරව් කරයි.

රට වසා දැමීමෙන් රටේ ජාතික ආර්ථිකයට පමණක් නොව දෛනිකව එදිනෙදා ආදායම් උපයන මෙන්ම ස්වයං රැකියාවල නියුතු වූ අති බහුතරයකට සිදුවන ආර්ථික පාඩුවද ඉතා බරපතළ බව පෙන්වා දෙන රාජ අමාත්‍යවරයා එම පිරිස ගෙවන ණය වාරික , විවිධ බිල්පත් , දරුවන්ගේ අධ්‍යාපන වියදම් ආදී සෑම අංශයකටම ඉන් ප්‍රබල බලපෑමක් එල්ල කරන බවද මතක් කර දෙයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 May 2021 08:13