May 17, 2024

(EXCLUSIVE) රංජන් නිදහස් කරගන්න ජනපති හා සජිත් අතර සිදුවූ කතා බහ මෙන්න

රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් ජනපතිවරයා සහ විපක්ෂනායකවරයා අතර සිදුවූ කතාබහ පිලිබද තොරතුරු ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

සිංහල - හින්දු අලුත් අවුරුද්දට සුබ පැතීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් 14 වැනි දින ජනපතිවරයාට දුරකතනයෙන් කතා කොට ඇති අතර සුභ පැතීමේ කටයුත්තෙන් පසු රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරයාට ඉල්ලීමක් කොට තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනපතිවරයා සඳහන් කොට තිබෙන්නේ ප්‍රථමයෙන්ම සිරබත් විදින්නාගෙන් තමාව නිදහස් කරන ලෙස ලිපියක් අවශ්‍ය බවත් ඉන්පසු එම ලිපිය පිළිබදව නීතිපතිවරයාට සහ අදාළ නඩුව ඇසූ විනිසුරුවරුන්ගෙන් අදහස් විමසීමට සිදු වන බවත් ඒ නිර්දේෂයන් අනුව තමන්ට තීරණයක් ගත හැකි බවත්ය.

තමාට පෙර සිටි ජනපතිවරුන් බොහෝ දෙනකුට ජනපති සමාව දී තිබෙන්නේ මෙවැනි කරුණු විමසීමකින් තොරව සිය හිතුමතේට බව ද ජනපතිවරයා විපක්ෂ නායකවරයාට පෙන්වා දී තිබේ.

ජනපතිවරයාගේ දැනුම්දීමට අනුව සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් අදාල ලියුම හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ලබාගෙන ඇති බවද සමගි ජන බලවේග ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් සමගි ජන බලවේගයේ බොහෝ මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නයක්ව තිබෙන්නේ යම් හෙයකින් රන්ජන් රාමනායක මහතා ජනපති සමාව මත නිදහස් වුවහොත් ඉන් පසු තමන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලීමක් නොකළ බව ප්‍රකාශ කරයි දැයි යන සැකයයි.

අධිකරණයට අපහාස කිරීම මත රන්ජන් රාමනායක මහතාට වසර 4 ක සිර දඬුවමක් නියම කොට එය මේ වන විට විදිමින් සිටින අතර මීට ටික දිනකට පෙර ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහෝසි විය.

රන්ඡන් රාමනායක මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගය ලයිස්තුවේ පස්වැනි ස්ථානයේ සිටින අජිත් මාන්නප්පෙරුම මහතා මේ වන විට දිවුරුම්දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 April 2021 12:32