May 17, 2024

රන්ජන් බලන්න හදිසියේම නාමල් බන්ධනාගාරයට යයි - සාකච්ඡාව පැය භාගයයි

සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (16) සවස අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර තිබේ.

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් සිටි අමාත්‍යවරයා පැය භාගයක් පමණ රන්ජන් රාමනායක මහතා සමඟ කථා බස් කිරීමෙන් පසු පිටත්ව ගොස් ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

සවස 2.45ට පමණ බන්ධනාගාරයට පැමිණි නාමල් රාජපක්ෂ මහතා රන්ජන් රාමනායක මහතා හමුවී සුවදුක් විමසීමෙන් පසු සවස 3.20ට පමණ පිටව ගොස් ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඬුවමක් නියමවූ අතර මේවන විට ඔහු පැලැස්ස බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ රඳවා තබා සිටී.

පසුගිය සතියේ රන්ජන් රාමනායක මහතා තමන් බැලීමට පැමිණි පිරිස් හට සදහන් කොට තිබුණේ තමාව බැලීම සදහා පැමිණෙන ලෙසට පක්ෂ විපක්ෂ සියලුම දේශපාලකයන්ට ආරාධනා කරන බවකි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 18 April 2021 08:31