May 19, 2024

පෝට්සිටි කොමිසම අය කරන සියලු බදු යන්නේ කා අතටද? ඇමැති කබ්රාල් කියයි

වරාය නගර ආර්ථික කොමිසන් සභාවට සියලුම සාමාජිකයින් පත්කරන්නේ ජනාධිපතිවරයා බැවින් වෙනත් රටකට එම නගරය පාලනය කළ නොහැකි බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයන් 5 ත් 7 ත් අතර සංඛ්‍යාවකින් සමන්විත වේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිළිබඳ පනත් කෙටුම්පත මුළුමනින්ම රටේ නීතියට අනුගත මෙරටට විදේශ විනිමයගෙන ඒමේ හැරවුම් ලක්ෂයක් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු මේ බව පැවසූවේ එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැහැදිලි කිරීම වෙනුවෙන් ඊයේ (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එල්ල වන ඕනෑම චෝදනාවක් පිළිබඳ පැහැදිලි කිරීමට රජය සූදානම් බවත් පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා පනත් කෙටුම්පතට අදාළ සියලු කටයුතු සිදුවන්නේ මෙරට නීතියට අනුව මිස වෙනත් රටක නීතියකට අනුව නොවන බවද කියා සිටියේය.

එම කොමිෂන් සභාවට කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ ව්‍යාපාරික කටයුතු සඳහා සියලු අනුමැතීන් ලබාදීම, නියාමනය කිරීම ඇතුළු කාර්යයන් පැවරෙයි.

කොමිසම අය කරන සියලු බදු රජයේ ඒකාබද්ධ අරමුදලට බැර වන බ‍ව ද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)