May 11, 2024

මෛත්‍රී, විමල්, උදය, වාසු විශේෂ සාකච්ඡාව පොහොට්ටුවේ අවධානයට - දිනේෂ්ගේ මූලිකත්වයෙන් කමිටුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග ආණ්ඩුවේම සිටින සන්ධානගත පක්ෂ 12 විකල්ප කණ්ඩායමත් එකට එකතු වී මැයි දිනය පැවැත්වීමට සූදානම් වීම හේතුවෙන් පොදුජන පෙරමුණ තුළ යම් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 8 වැනි දින විකල්ප කණ්ඩායමේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර අමාත්‍යවරුන් මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ ඩීව් ගුණසේකර මහතා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ශ්‍රීලනිප මූලස්ථානයේදී හමුවී ඒකාබද්ධ මැයි දිනයක් පැවැත්වීම පිළිබඳව අවධානය යොමු කොට ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ විශේෂ අවධානයක් යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාගේ ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ " මැයි දිනය පැවැත්වීමේ සම්ප්‍රදාය වන්නේ පොදු ජන පෙරමුණ එහි සන්ධානගත පක්ෂ සියල්ලත් සමඟ එකට එකතු වී පැවැත්වීමයි. එසේ පැවැත්වීම පිළිබඳව අවශ්‍ය කටයුතු සූදානම් කරන්න මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කොට තිබෙනවා" යන්නය.

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාද නායකත්වය දෙන්නේ පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණටය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ප්‍රමුඛ පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂ 12කින් සමන්විත විකල්ප කණ්ඩායම නියෝජනය නොකරන පක්ෂ අතර මහජන එක්සත් පෙරමුණද සිටී.

ශ්‍රීලනිපය තනිව මැයි දිනයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේවන විටත් සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 April 2021 17:40