පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් මහ මොලකරුවා හඳුනාගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
ඔහු නවුෆර් මවුලවි නම් පුද්ගලයෙක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පත් කරන ලද කොමිෂන් වාර්තාවේ නිර්දේශ සලකා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
අන්තවාදය ප්‍රවර්ධනය කරමින් සහරාන් ඇතුළු කණ්ඩායම අන්තවාදයට යොමු කිරීමට අදාළ නවුෆර් මවුලවි කටයුතු කර ඇති බව ද ඇමතිවරයා එහිදී කියා සිටියේය.
අදාල සැකකරු මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇතැයිද කී ඔහු පාස්කු ප‍්‍රහාරය සම්බන්දයෙන් පුද්ගලයන් 32කට දැනටමත් නඩු පවරා ඇතැයිද පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කවුරුන්ද කියලා දැනටමත් හඳුනාගෙන තියෙනවා. ඔහු තමයි නවුෆර් මවුලවි කියන කෙනා තමයි බග්ඩාඩි කියන කෙනා තමයි IS මතවාදය ගෙනාවේ. ඔවුන් සමඟ එකතුවෙලා එම මතවාදයට ඇතුළු වුණේ. සහරාන්වත්, සහරාන්ගේ මොළ සෝදනය කලේ එයා."