May 17, 2024

රන්ජන්ගේ මන්ත්‍රී ධූරය පිළිබඳ පෙත්සම විසි වෙයි

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ගොනු කළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය.

පෙත්සම් සම්බන්ධයෙන් නීතිමය පදනමක් නොමැති බවට නීතිපති කළ මූලික විරෝධතාව පිලිගනිමින් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදී.

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන අතුරු නියෝගය නිකුත් කරනවාද ? නැත්ද? යන්න පිලිබද නියෝගය අද (05) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා මහත්වරුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේ මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බවය.

රංජන් රාමනායක මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු මේ වනවිට වසර හතරක සිර දඬුවම් විඳී.

Rate this item
(0 votes)