May 17, 2024

මහින්දානන්දට රන්ජන් ගැන දුක හිතෙයි - රන්ජන් බේරගන්න ඇමතිගෙන් ආණ්ඩුවට යෝජනාවක්

මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් හරහා තමාට අගතියක් සිදුවූ බව බවසමින් ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඉල්ලා අස්කරගැනීමට අමාත්‍යවරයා ඊයේ (31) පියවර ගත්තේය.

2016 දී මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රි නිවාස සංකීර්ණයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම නඩුව ගොනු කර තිබුණි.

එම චෝදනාව සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2016 වසරේ දී එම ප්‍රකාශයෙන් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් රන්ජන් රාමනායක මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලමින් ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කළේය. සිව් වසරක් පුරා විභාගයට ගැනෙන එම නඩුව ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ යළි කැඳවනු ලැබීය.

එම නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ සිර දඩුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටු කරන්නැයි ආණ්ඩු පක්ෂයට පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මේ වනවිට බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතා ද නඩු කටයුත්තට පැමිණ සිටි බව අමාත්‍යවරයා පැවසීය.

වෙනත් පිරිසකගේ වුවමනාවන් ඉටු කිරීමට නොමඟ ගොස් රන්ජන් රාමනායක මහතා සිරගතව දුක් විඳින බවත් අද ඔහු වෙනුවෙන් පෙනී සිටීමට කිසිවකුත් නැති හෙයින් තමා එදා පැවරූ අපහාස නඩුව ඉල්ලා අස්කර ගැනීමට සිතූ බවත් මහින්දානන්ද අලූත්ගමගේ මහතා සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව පැවරූ නඩුව ඉල්ලා අස්කර ගන්නට තීරණය කළ බව තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද දැනුම් දුන් බව කී අලුත්ගමගේ මහතා කිසිවකුගෙන් පළි ගැනීමට අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ යැයිද පැවසීය.

යහපාලන ආණ්ඩු සමයේ තමාට වැඩිපුරම පහර ගැසූ පුද්ගලයා වන රන්ජන් රාමනායක මහතාට සමාව දීමෙන් අදහස් කළේ දේශපාලන පළිගැනීම් නතර කරමු යන ආදර්ශය රටට ලබා දීමට යැයි ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසී ය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව තමන් නුගේගොඩ අධිකරණයේ නඩුවක් පවරා ඇති බවත් එම නඩුවෙන් ඔහු වැරදිකරු වුවහොත් නඩුවේ අවසාන දිනයේ නඩුව ඉවත් කර ගන්නා බවයි.

Rate this item
(0 votes)