May 17, 2024

රන්ජන්ගේ මන්ත්‍රී පුටුව ගැන නියෝගයක්

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට කළ නියෝග 18 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා, තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලදී.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූණි.

මේ අතර රංජන් රාමනායක මහතා ගොනු කර ඇති මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බව පවසමින් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසට නීතිපතිවරයා අද මූලික විරෝධතා ඉදිරිපත් කරන ලදී.

කෙසේවෙතත් පෙත්සම්කරුට සිරදඬුවම් නියම වී ඇත්තේ අධිකරණයට අපහාස කිරීමට අදාළ චෝදනා බැවින් එම වරද අපරාධමය ගණයට නොවැටෙන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වීමක් සිදු නොවන බව රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණයට දැනුම් දෙන ලදී.

වැඩිදුර දේශන මාර්තු මස 18 තෙක් කල් තබන ලදී .

Rate this item
(0 votes)