May 09, 2024

කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා පළමු කණ්ඩායම - අද සිට එන්නත ලබාදෙන රෝහල් මෙන්න

ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානයක් ලෙස ලැබුණු ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනිකා කොවිෂීල්ඞ් එන්නත් මාත‍්‍රා ලක්ෂ පහ අද (29 දා) සිට කොළඹ ජාතික රෝහල ඇතුළු තෝරාගත් රෝහල් 06ක සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙමින් මෙරට ජනතාවට එය එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
 
ඒ අනුව රාගම ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, මුල්ලේරියාව රෝහල සහ අංගොඩ බෝවන රෝග ප‍්‍රතිකාර රෝහල යන රෝහල්වල සෞඛ්‍ය සේවකයන්ගෙන් සියයට 25කට අද දිනයේ මෙම එන්නතේ පළමු මාත‍්‍රාව ලබාදෙන බව ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
 
මෙම කොවිඞ් මර්දන එන්නත පළමුව භාවිත කිරීමේ වැඩසටහන ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඞ් රෝග පාලන කටයුතු ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් අද (29) පෙරවරු 8.30 ට අයි.ඞී.එච්. රෝහලේදී ආරම්භ වේ.
 
දින හතරක් ඇතුළත සියලූම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට මෙම එන්නත ලබාදීමට පියවර ගන්නා බවත් එහිදී තෝරා ගැනීමකින් තොරව කොවිඞ් රෝග ප‍්‍රතිකාර සේවයේ නිරතව සිටින වෛද්‍යවරුන්, හෙදියන්, සෞඛ්‍ය සේවකයන් ඇතුළු සියලූම දෙනාට මෙම එන්නත ලබාදෙන බවත් මෙම එන්නත ලබාදීමේදී සෑම රෝහලකම හදිසි ප‍්‍රතිකාර කණ්ඩායමක් සූදානමින් තබන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
 
දිවයිනේ සෙසු ප‍්‍රදේශවල මෙම එන්නත ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා මෙම ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනිකා කොවිෂීල්ඞ් එන්නත එම රෝහල් වෙත බෙදාහැරීම අද සිට ආරම්භ කරන බවද, එම සෑම රෝහලකම හදිසි ප‍්‍රතිකාර කණ්ඩායමක් සූදානමින් තබන බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 සෞඛ්‍ය ආරක්ෂක අංශ ඇතුළු ලක්ෂ දෙකහමාරක පිරිසකට මෙම එන්නත ලබාදීමට නියමිතය.

Rate this item
(0 votes)

Related items