April 27, 2024

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ගේ ජීවිත අවදානමක

November 04, 2020

විවිධ සංකූලතා හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන්ගේ ජීවිත රැක ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.

ජාතික රෝහල තුළ පී.සී.ආර්. පරීක්ෂණ සිදු නොකරන බැවින් වෛද්‍ය පර්‌යේෂණායතනයට යොමු කරන පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තාවන් ප්‍රමාදවී ලැබීම නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ප්‍රමාදයක් සිදුවන බවද හෙතෙම පෙන්වා දෙයි.

අසාධ්‍ය රෝගියෙක් පැමිණියහොත් හෝ රෝගියෙකුට අසාධ්‍ය වුවහොත් ඒ සඳහා ප්‍රතිකාර ලබාදීමට විශේෂඥ වෛද්‍යවරයා සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමේදී යම් කාලයක් ගත වෙන බැවින් රෝගියාට ක්ෂණිකව ප්‍රතිකාර ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එහෙත් වෛද්‍යවරයා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොවිඩ් අවදානම නොතකා රෝගියාට ඉක්මන් ප්‍රතිකාර කිරීමට යාමේදී එම රෝගියා කොවිඩ් ආසාදිතයකු නම් ප්‍රතිකාර කළ සමස්ත කාර්ය මණ්ඩලයට දින 14කට නිරෝධායනයට ලක් කෙරෙන බැවින් රෝහලේ සමස්ත රෝගී සත්කාරයන් බිඳවැටෙනු ඇති බව හෙතෙම සඳහන් කරයි.

මෙම රෝහල තුළ පී.සී.ආර්. පරීක්ෂණයන් ආරම්භ කළ හැකි ක්‍රමවේදයන් ඉක්මනින් ක්‍රියාවට නැංවීමට කටයුතු නොකළහොත් ප්‍රතිකාර ප්‍රමාදවීම හේතුවෙන් විවිධ සංකූලතාවන් ඇතිවී තවත් බොහෝ රෝගීන් මියයෑම වැළැක්විය නොහැකි යැයිද හෙතෙම අවධාරණය කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 November 2020 09:18