May 03, 2024

'මම රෙකෝඩ් කඩලයි ඉන්නේ' - නාමල් කියයි

ඇතමුන් සිරගෙට යන්නේ වසරකට දෙවරක් වුවත් තමන් මාස දෙකකට වරක් සිරගෙට යන බවත් ඒ අනුව තමන් සිරගතව සිටින්නන්ගේ වාර්තා ද බිඳ හෙළා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 24වනදා හලාවත පැවති රැස්වීමක් අමතමිනි.

මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා, හලාවත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිල්ටන් වාස්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජනිත දේවප්‍රිය යන මහත්වරුන් ද සහභාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය. 

"පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකම වේදිකාවට නැගලා මාතරදී රැස්වීමක් පැවැත්වුවා. අහපු ගමන් කියන්නේ මේක තමයි වෙනස කියලා. ඒ වෙනස කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දීමයි. ඒකාබද්ධ විපක්ෂයේ අපිට ප්‍රශ්ණය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නෙමෙයි. අපිට ප්‍රශ්ණය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක. අපි පාර්ලිමේන්තුවේ විරෝධය පාන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වලට. අද ගොවීන්ගේ පොහොර සහනාධාර කප්පාදු කරන එක, පාසල් නිල ඇදුම කප්පාදු කරන එක, ඉක්ටා ගිවිසුම, රණවිරු දඩයම, රටේ ඒකීයත්වය කෙළසීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නම් එදා බණ්ඩාරනායක මහත්තයලා එක්සත් ජාතික පක්ෂය දාලා එන්නේ නෑ. ඒ නිසා තමයි ඩී.ඒ.රාජපක්ෂ මහත්තයලා, බණ්ඩාරනායක මහත්තයලා එක්සත් ජාතික පක්ෂය දාලා ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ ප්‍රතිපත්ති තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ බව අපි මතක් කළ යුතුව තිබෙනවා.

අද සනත් නිශන්ත මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිවක අහෝසි වුනේ මේවට විරුද්ධව කථා කරපු නිසා. සටන් කරපු නිසා. රටේ ප්‍රශ්න ගැන, ගොවියා, කම්කරුවා, ධිවරයා, වෘත්තීයවේදියා වෙනුවෙන් ප්‍රශ්ණ ගැන කථා කරන්න ගියහම, ඒ ගැන මාධ්‍ය‍යෙන් හඩක් නගපුවහම ලැබෙන්නේ මේ වාගේ දේවල් තමයි. සමහරු හිතනවා අපි එහෙම කළහම පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව කථා කරනවා කියලා. ඒ අයට තමන්ගේම පක්ෂයේ ප්‍රතිපත්ති අමතක වුනා නම් අපිට ඒ ගැන කරන්න දෙයක් නැහැ. ඒත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනමත්, ගොඩනැගුණු ප්‍රතිපත්තිත් දිවි හිමියෙන් ආරක්ෂා කරනවා.

මේ ආණ්ඩුව ගැන අපි වරුගන්න කතා කරලා වැඩක් නැහැ. දැන් ආණ්ඩුවට ඡන්දේ දුන්න කෙනෙක් නැහැනේ හොයා ගන්න.මම බැලුවා හිර ගෙදර ඇතුලේ එහෙම කෙනක් ඉන්නවාද කියලා. හිර ගෙදරත් නැහැ. වැඩිය ඕනේ නැහැ ජනවාරි අට වෙනිදා හංසයාට කතිරේ ගහපු අය හිර ගෙදරත් නැහැ. අද ආණඩුව තනිකර කරන්නේ බොරුව. දැන් අපිට හොරා හොරා කියලා කියනවානේ. මම දැක්කා අද මාධ්‍යයෙන් ඕස්ට්‍රේලියාණු රජයෙන්, එහේ පොලීසියෙන් අපේ රටේ ඉන්න ජනාධිපතිතුමා ගැන පරීක්ෂණයක් ආරම්භ කරලා කියලා. මරු යහපාලනය. දැන් මේ අය හොර හොරා කිව්වේ මහින්ද රජපක්ෂ මහත්තයාටනේ. මහින්ද රාජපක්ෂට, නාමල් රාජපක්ෂට ලොකේ වටේ ගිණුම් තියනවා කිව්වානේ. ආණ්ඩුවේ ඉන්න ඇතැම් නිලධාරීන් ලෝකෙ වටේ සවාරි ගියානේ මේවා හොයන්න. ඒත් අද වෙන තුරු ඒ ගැන කතාවක් නැහැනේ. මෑතකදී රංජන් රාමනායක මහත්තයා මාධ්‍යයට ඇවිත් පෝනියෙක් පෙන්නලා කියනවානේ මූ අශ්වයෙක් කියලා. එයාට තවම පෝනියයි, අශ්පයයි වෙනස හදුනා ගන්න බැහැනේ. කොහොමත් රංජන් මන්ත්‍රීතුමාට පෝනියාගෙන් අශ්වයාගෙයි වෙනස හදුනා ගන්න බැරි ප්‍රශ්ණයක් තියනවා. ඒක වෙනම ගැටළුවක්. එහෙම කියපු අයටනේ දැන් ඇතැම් රටවල් වලින් තමන් කරපු වංචාවන් ගැන පරීක්ෂණ පැවැත්වෙන්නේ. මේවා මම කියන්නේ කාටවත් මඩ ගහන්න නෙමෙයි. ලෝකයේ පිළිගත් මාධ්‍යය ආයතන වාර්තා කරපුවා. එහෙම නම් හොරා වෙන්නේ මහින්ද රාජපක්ෂද. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂට ඇගිල්ල දික් කරලා හොරා, හොරා කියන අයද කියලා අපි හිතන්න ඕනේ.

දැන් හදන්නේ මහින්ද රාජපක්ෂවයි, පවුලේ අයවයි පාරට දාලා ඇවිද්ද වන්නනේ. පාරට ඇදලා දාලා ඉන්න ගෙදරත් ආණ්ඩුවට ගන්නවා කියලනේ කියන්නේ. දැන් වෙලා තියෙන්නේ අපේ පැත්තට එක ඇගිල්ලක් දික් කරන කොට ඇගිලි හතරක් ඒ අයගේ පැත්තට දිගු වීමයි. ඒ ගැන මේ ලෝකය පාලනය කරන විශ්ව බලවේග තියනවා, දෙවිවරු ඉන්නවා. ඒ අය බලා ගනීවි. මහින්ද රාජපක්ෂ මහත්තයා කළේ මේරට ආරක්ෂා කරපු එක. මේ අහිංසක අම්මලා, තාත්තලාගේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරපු එක. ත්‍රස්තවාදය අවසන් කරපු එක. යුද්දේ ඉවර කරන්න මල් වට්ටියට අත තියපු අය බොහෝම ඉන්නවා. හැබැයි යුධ අපරාධ අධිකරණයට යන්න ඕනේ මහින්ද රාජපක්ෂ තනියම. පරීක්ෂණ කරන්නේ මහින්ද රාජපක්ෂ ගැන විතරයි. එහෙම නම් යුද්දේ හතරෙන් තුනක් ඉවර කරපු අය ගැනත් පරීක්ෂණ කරන්නකෝ. ඒ අය යුද්දෙන් හතරෙන් තුනක් කෙසේ වෙතත් රටෙන් හතරෙන් තුනක් නම් ඒ කාලේ ඉවර කරලා දැම්මා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ගිල ගන්න ආපු, විනාශ කරන්න ආපු අය විසින් තාවකාලික තෘප්තියක් ලබා ගන්න කරන මේ අසාධාරණ වැඩ වලට එරෙහිව පාක්ෂිකයෝ හැටියට අපි එකට එකතු වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි අපේ විරෝධය පල කරලා පෙන්නන් තමයි ලබන 27 වැනිදා ආණමඩුවේදී රැස්වීමක් පවත්වන්නේ.

මමත් ඇතුලේ ඉදලා ඇවිත් දවස් දෙකයි තවම ගත වුනේ. දැන් හිරේ ඉන්න අයගේ රෙකෝඩ් එකත් මම කඩලයි තියෙන්නේ. සමහර අය ඇතුලට යන්නේ අවුරුද්දට දෙපාරයි. මම මාසෙකට දෙපාරක් ඇතුළට යනවා. ඇතුලේ ඉන්න අය කියනවා අපි ඇතුළට එන්නේ අවුරුද්දට දෙපාරයි, ඔබ තුමා මාසෙට දෙපාරක් ඇතුලට එනවා කියලා. එතකොට මම කිව්වා මම මාසයකට දෙපාරක් ඇතුලට ආවොත් තමයි යහපාලනයේ අයට අවුරුද්දකට දෙපාරක්වත් නින්ද යන්නේ කියලා. ජනතාවට සේවයක් කරලා නැති නිසා ඒ අයට නින්ද යන්නේ නෑ. හීනෙන් බය වෙනවා. ඒ නිසා නාමල් රාජපක්ෂ කූරු ගනින කොටවත් ඒ අයට නින්ද යන්න ඕනේ කියලා හිතනවා ඇති. හැබැයි ඉතිං ඔන්චිල්ලාව එහෙට යනවා වගේම මෙහෙටත් එයි. එදාට අපි ඔය කිසිම කෙනෙකුට වෛර කරන්නේ නෑ. පලිගන්නේ නෑ. මෛත්‍රී කරවාය. නිකම්ම නෙමෙයි ඩබල් මෛත්‍රී කරනවා".

පුත්තලම - ජුඩ් සමන්ත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 August 2016 16:47