May 17, 2024

ගෝඨා ඇතුළු 6කට මහින්ද අලි දුන්නේ කොහොමද?

හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනෙකු වෙත සන්නස් පත‍්‍ර මගින් ලබාදී ඇති අලි ඇතුන් කෙසේ ලැබුණේ දැයි යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම් දුන්නේය.

මෙම සතුන් ලැබුණ ආකාරය සහ සත්‍ය වශයෙන්ම මෙම සතුන් වනජීවි දෙපාර්තමේන්තුව වෙතින් හෝ ජාතික සත්වෝද්‍යානය මගින් හෝ විදේශීය රටකින් ලැබුණා ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන් අතර වනජීවි දෙපාර්තමේන්තුව විසින් පවත්වාගන යනු ලැබූ අලි පොත වෙනස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

වනජිවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ දී සිදුවී ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන අතර සන්නස් පත‍්‍ර මගින් බලය පැවරූ අලි ඇතුන් කිහිප දෙනෙකු ද ලියාපදිංචිය සදහා අයදුම්පත් වනජීවි දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වී ඇතැයි රහස් පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

Rate this item
(2 votes)