March 29, 2024

කොරෝනා සදහා එන්නත් චීනයෙන් ?

කොරෝනා මර්දනය සදහා වන චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යවා ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.

චීනයේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්වූ ආචාර්ය පාලිත ටී.බී. කොහොන මහතා සිය අක්තපත්‍රවල පිටපතක් ඉකුත් 12 වැනිදා චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතාට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපිය බාර දුන් බවද විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මහජන චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත විශේෂ ත්‍යාගයක් සහ පුද්ගලික පණිවුඩයක් ද රැගෙන ආ බව ශ්‍රී ලංකා තානාපතිවරයා මෙහිදී දැනුම් දුන් අතර ඒ අනුව චීන එන්නත් ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලියන ලද ලිපිය වෙත ද අවධානය යොමු කළේය.එම ලිපිය බාර ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා කියා සිටියේ එන්නත බෙදා හැරීම සම්බන්ධයෙන් චීන රජය ඉක්මනින් තීරණය කරනු ඇති බවය.

Last modified on Friday, 15 January 2021 06:05