December 03, 2021

කාටත් හොරෙන් ඔත්තු බලා අතුරුදන් විය හැකි පියාඹන "චිප්" එක ගැන දන්නවාද? (VIDEO)

ශාක වර්ග විවිධ ක්‍රම ඔස්සේ සිය බීජ පතුරවා හරින ආකාරය අප පාසලේ දී ඉගෙනගෙන තිබෙනවා.

සුළඟ මගින් බීජ ප්‍රචාරණය කිරීම ඉන් එක් ක්‍රමයක්.

ශාක සිය වර්ගයා විශාල වපසරියක් තුළ ව්‍යාප්ත කිරීමට භාවිත කරන එම උපාය ආදර්ශයට ගත් විද්‍යාඥයින් පිරිසක් විශ්මිත මයික්‍රොචිප් එකක් නිර්මාණය කොට තිබෙනවා.

මෙය හැඳින්වෙන්නේ ලොව ප්‍රථම පියාඹන මයික්‍රොචිප් එක ලෙස යි.

(වීඩියෝව සඳහා පහළට යන්න)

පියාඹන චිප් එක

මයික්‍රොෆ්ලයර්ස් (Microfliers) ලෙස නම් කර ඇති මෙම නව මයික්‍රොචිප් වර්ගය අමෙරිකා එක්සත් ජනපදයේ වයඹදිග විශ්වවිද්‍යාලයේ නිර්මාණයක්.

මේ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකුවන ජෝන් රොජර්ස් මහතා යි.

සුළඟ මගින් පැතිරෙන ශාක බීජවල දක්නට ඇති ආකාරයේ පියාපත් තුනක් නිර්මාණය කොට තිබීම මයික්‍රොෆ්ලයර්ස්වල ඇති විශේෂත්වය වනවා.

මෙමගින් මේවාට සුළඟ ඔස්සේ විශාල දුරක් තනිව පියාසැරිය හැකිවනවා.

ඒ කිසිදු අභ්‍යන්තර ශක්ති ප්‍රභවයකින් තොරව යි.

එමෙන්ම මෙම මයික්‍රොෆ්ලයර් එකක් වැලි කැටයක් තරම් කුඩා ප්‍රමාණයෙන් නිර්මාණය කොට තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව මෙය ලොව ප්‍රථම පියාඹන මයික්‍රොචිප් එක පමණක් නොව, මිනිසුන් විසින් නිපදන ලද පියාසැරිය හැකි කුඩාම උපකරණය ලෙසට යි ඉතිහාසගත වන්නේ.

මොකටද මේවා?

සිය මූලික පරමාර්ථය වූයේ සුළඟ හරහා පතුරවා හැරිය හැකි මයික්‍රොචිපයක් නිර්මාණය කිරීම බව මහාචාර්ය ජෝන් රොජර්ස් මහතා පවසනවා.

ඒ අනුව නිර්මාණය කෙරුණු මයික්‍රොෆ්ලයර් එකක ඇති පියාපත් තුනට මැදි වී සිටින පරිදි ඉතාම කුඩා ප්‍රමාණයේ මයික්‍රොචිප් එකක් පිහිටා තිබෙනවා.

පරිසරයේ ඇති විවිධ තොරතුරු ලබා ගැනීමටත් ඒවා පොළව මත ඇති පරිගණකයකට හෝ ස්මාට් ජංගම දුරකතනයකට රැහැන් රහිතව එවීමටත් මෙම චිප්වලට හැකි බව යි මහාචාර්ය රොජර්ස් සඳහන් කරන්නේ.

මේ නිසා මෙම නිර්මාණය යොදාගත හැකි ක්ෂේත්‍රවලට සීමාවක් නොමැති බව ඔහු පෙන්වා දෙනවා.

https://media.npr.org/assets/img/2021/09/23/microflier1-013bcb9dc9bbd61b03a1151d2c5492ac144fc905-s1200-c85.webp

ප්‍රයෝජන

යම් ප්‍රදේශයක පවතින වායු දූෂණය සහ පරිසර දූෂණය මැන බැලීමට, සුළඟ මගින් පැතිරෙන ලෙඩ රෝග හා වසංගත ආදිය අධ්‍යනය කර ඒවා පාලනය කිරීමේ කටයුතුවලට, ජනගහන වර්ධනය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට, සාගරය ආශ්‍රිත පර්යේෂණ, වනාන්තර ආශ්‍රිත පර්යේෂණ, කෘෂි කාර්මික තොරතුරු එක් රැස් කිරීම ආදී එකී නොකී බොහෝ කාර්යයන්ට මයික්‍රොෆ්ලයර්ස් යොදාගත හැකි බව මහාචාර්යවරයා උදාහරණ ලෙස පවසනවා.

එමෙන්ම ස්වභාවික සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදු විය හැකි ව්‍යසනවල දී මේවා බොහෝ සෙයින් ඉවහල් කරගත හැකි බව ඔහු පෙන්වා දෙනවා.

මහාචාර්ය රොජර්ස් වැඩිදුර උදාහරණයක් ලෙස පවසන්නේ සාගරයේ ඇති නෞකාවක් ගිනිගන්නා අවස්ථාවක් වැනි සිද්ධියක දී ගින්නෙන් කොපමණ වායු දූෂණයක් සිදුවන්නේද සහ තෙල් හෝ රසායනික ද්‍රව්‍ය සාගර ජලය වෙත කොපමණ විසිරෙන්නේද යන්න පිළීබඳ සොයා බැලීමට සිය මයික්‍රොෆ්ලයර්ස්වලට හැකි බව යි.

මිනිසුන්ට ලං විය නොහැකි ආපදාකාරී වූ පරිසරයක දී එය වඩාත් ප්‍රයෝජනවත් බව ඔහු පෙන්වා දෙනවා.

මේ අතර ලෝකයට මෙලෙස ප්‍රසිද්ධ කළේ මයික්‍රොෆ්ලයර්ස්වල පළමු අවස්ථාව පමණක් බවත්, මේවන විටත් පැවැත්වෙන පර්යේෂණ හරහා තවදුරටත් වැඩි දියුණු කළ මයික්‍රොෆ්ලයර් මාදිලි ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත බවත් මහාචාර්ය රොජර්ස් අනාවරණය කරනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙය ආරම්භය පමණක්ම වන බව යි.

අතුරුදන්වීමේ හැකියාව

කුමන හෝ කටයුත්තක් සඳහා මෙම මයික්‍රොෆ්ලයර් ගොන්නක් යම් ප්‍රදේශයකට ඉහළ අහසේ සිට විසුරුවා හැරීමෙන් අනතුරුව ඒවා පොළවට වැටීම හරහා විශාල පරිසර විනාශයක් සිදුවන්නට හැකි බව මෙය කියවන ඔබට කල්පනා විය හැකියි.

කෙසේ වෙතත් ඒ සඳහා ද විසඳුමක් මහාචාර්ය රොජර්ස් ප්‍රමුඛ කණ්ඩායම විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් මයික්‍රොෆ්ලයර්ස් නිර්මාණය කර ඇත්තේ ස්වභාවිකව දිරාපත්වන ලෙසට යි.

එය කෙතරම් ඉක්මන් ද කිවහොත් මයික්‍රොෆ්ලයර් එකක් මතට ජලය ස්වල්පයක් දමා විනාඩි කිහිපයකින් එය අතුරුදන් වන්නේ කිසිදු සළකුණක් නොතබා යි.

හොඳට මෙන්ම නරකටත්

විද්‍යාව සහ තාක්ෂණය යොදාගත් විශ්මිත නිර්මාණයක්වන මයික්‍රොෆ්ලයර්ස් පිළිබඳ වයඹදිග විශ්වවිද්‍යාලය විසින් ලෝපතල "නේචර්" විද්‍යා ජර්නලයේ ප්‍රසිද්ධ කිරීමත් සමග මෙම තාක්ෂණය යහපත් කාර්යයන්වලට මෙන්ම අයහපත් අරමුණුවලටත් යොදා ගැනීමට හැකි බවට විවිධ පාර්ශවයන්ගෙන් විවේචනාත්මක අදහස් පළ වෙමින් තිබෙනවා.

මහජනතාව පිළිබඳව මෙන්ම සතුරු රටවල් පිළිබඳ ඔත්තු බැලීමේ කටයුතු සඳහා මයික්‍රොෆ්ලයර්ස් ඉතාමත් හොඳින් භාවිත කර ගත හැකි බව පැහැදිළි කරුණක්.

එමෙන්ම යුද්ධයක් වැනි අවස්ථාවක දී මයික්‍රොෆ්ලයර්ස් යොදා ගැනීම එක් පාර්ශවයකට කොතරම් වාසි සහගත ද යන්න පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැහැ.

පොළවට පතිත වීමෙන් අනතුරුව ඉතාමත් ඉක්මනින් අතුරුදන් වීමට ද මේවාට හැකි නිසා කිසිදු සළකුණක් නොතබා ඔත්තු බැලීමේ කටයුතු සිදු කිරීමට මේ හරහා හැකිවනු ඇති බවයි ලොව පුරා විවිධ පාර්ශව අදහස් පළ කරමින් කියා සිටින්නේ.

https://www.sciencealert.com/images/2021-09/MicroflierDesign2.jpg

මහාචාර්යතුමා කියන දේ

තම නිර්මාණයෙන් සිදු වීමට හැකි භයානක ප්‍රතිඵල පිළිබඳ චෝදනා මහාචාර්ය රොජර්ස් විසින් ප්‍රතික්ෂේප නොකිරීම ද විශේෂත්වයක්.

ඔහු පවසන්නේ මයික්‍රොෆ්ලයර්ස් නිර්මාණය කිරීමේ කාර්යයේ දී තම අරමුණ වූයේ ලොව ඇති විවිධ ගැටළුවලට විසඳුම් සෙවීමට යහපත් අන්දමෙන් ඒවා යොදා ගැනීමට මග සළසා දීම බව යි.

කෙසේ වෙතත් අලුතින් ලෝකයට එක්වන නව තාක්ෂණික අංග සියල්ලක්ම පාහේ විවිධ අරමුණු සඳහා යොදාගත හැකි බවත්, ඕනෑම තාක්ෂණයක් යහපත් මෙන්ම අයහපත් අරමුණක් කරා යොදා ගැනීම වැළැක්විය නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

එය සෑම තාක්ෂණික අංගයකටම පොදු අභියෝගයක් බව යි ඔහු ප්‍රකාශ කරන්නේ.

මයික්‍රොෆ්ලයර්ස් නිර්මාණය කිරීමේ දී තමන් ඇතුළු කණ්ඩායමේ අරමුණ අයහපත් එකක් නොවූවත් මෙය අයහපත් කාර්යයන් සඳහා යොදා ගැනීමට හැකි බවට පළවන අදහස්වලට තමන් ගරු කරන බව ද මහාචාර්ය රොජර්ස් සඳහන් කරනවා.

- සහන් පද්මසංඛ පීරිස්

Rate this item
(2 votes)
Last modified on Saturday, 30 October 2021 00:05

2022 අයවැය දෙවනවර කියවිමේ පාර්ලිමේන්තු විවාදය