April 26, 2024

"විදුරයි ගොයියා - කයියට දෙයියා" ඇඟට නොදැනිම ගහපු ගේම

"විදුරයි ගොයියා - කයියට දෙයියා" මේ විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ගැන මුහුණු පොතේ තිබුණු සටහනකි.

පසුගිය වර්ෂයේ ඔක්තෝබර් මාසේ විසි ගණන් වල පාර්ලිමේන්තුවේ සම්මත කරගත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අපටත් ප්‍රශ්න තිබෙනවායැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිහිපයක් කළ විදුර ඊට පක්ෂව ඡන්දය දීම ඉහත සඳහන් ආකාරයේ පෝස්ටු ගණනාවකට වස්තුබීජ විය.

එම පෝස්ටු වල සරල අර්ථය වූයේ විදුරද ආණ්ඩු පක්ෂයේ බහුතරයක් මෙන් බොරු කයිවාරුකාරයෙකු බවය.සිය ස්ථාවරය වෙනුවෙන් සිට ගැනීමට නොහැකි පිට කොන්දක් නැති දේශපාලඥයකු බවය.

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් විදුර පළමුවෙනියාට ආවේ නිකම්ම නොවේ.රෝහිත අබේගුණවර්ධන එහෙමත් නැත්තං රත්තරන් දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වීම වැළැක්වීම පක්ෂ භේදයෙන් තොර කලුතර දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකුගේ අරමුණ විය.

ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ විදුරය .ඊට හේතුව ඔහු දිස්ත්‍රික්කයට හෝ සංවිධායක ධූරය දරන හොරණ මැතිවරණ කොට්ඨාශයට කළ සේවාව නොව තමන් සිටින දේශපාලන කදවුර විපක්ෂයේ සිටියද ආණ්ඩුවේ සිටියද වැරැද්දක් දුටු කල ඊට එරෙහිව හඬ නැගීමය.එම හඬ නැගීම පොදු ජනයාගේද හදවතේ හඬ වීම මත ඔහුගේ හා පොදු ජනයාගේ මතය එකක් බවටම පත් විය.

විදුරගේ පියා රත්නසිරි වික්‍රමනායක හිටපු අග්‍රාමාත්‍යවරයෙකි .ඔහුද නාහෙට අහන්නේ නැති සිය දේශපාලන කඳවුරේ වැරැද්ද වැරැද්ද හැටියට දැකපු දේශපාලඥයෙකි.

මේ වටපිටාව මත විදුර ගොඩනගාගත් සෘජු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ පදනමට හෙන ගැහුවෙ ඉහත කී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත ඉස්සීමත් සමගය.ඒ සමගම ඔහු බොහෝ අසීරුවෙන් වසර ගණනාවක් වෙහෙස මහන්සි වී ගොඩ නඟාගත් ප්‍රතිරූපය සුනුවිසුනු විය.විදුරද හැම දේටම එහෙයි කියන අන් සම්ප්‍රදායික පොහොට්ටු දේශපාලනඥයින්ගේ ගොඩට වැටුණි.

සියලු දේශපාලනඥයන්ට පරණ පව් හෝදාගෙන යළි ගොඩ නගාගෙන තිබූ වීරත්වයට අවතීර්ණ වීමේ අවස්ථා රැසක් ලැබේ.වැදගත් වන්නේ ඒවා නිසි කලට නිසි විදිහට පාවිච්චි කිරීමය.විදුරටත් එවැනි අවස්ථාවක් ඉකුත් මැයි 20 වැනි දින උදා වූයේ වරාය පනත් කෙටුම්පත ඡන්දයේදීය.එම පනතට එල්ල වූ මහජන විරෝධය මත විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරන මහජන නියෝජිතයෙකුට ඊට පක්ෂ නොවීම වීරත්වයට මග කපන බව දේශපාලනය ඇඟේම තියෙන වික්‍රමනායකලාට අමුතුවෙන් කියා දිය යුතු නැත.

විදුර වික්‍රමනායක එදින තුරුම්පුව හරියටම ගැහුවේය.තුරුම්පුවට පාවිච්චි කලේ කොවිඩ් -19 එන්නතය.විදුර එදා උදේම එන්නත ගහ ගත්තේය.ගහගෙන දවල් වෙත්ම සෞඛ්‍ය උපදෙස් මත විවේක ගැනීමට අවශ්‍ය බව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ වගකිව යුත්තන්ට දන්වා ගෙදර ආවේය.

එදින හවස් ජාමයේ පනතට ඡන්දය විමසන විට පොදුජන පෙරමුණේ ඔරිජිනල් තුනක් පාර්ලිමේන්තුවේ සිටියේ නැත.පහුවෙනිදා එළිවනවිට ඉන් එක් අයෙකු වූ විදුර යළි මහජනයා අතර වීරයෙකු විය.

විදුරගේ වෙලාවට ඡන්දය විමසූ දිනට පසු දිනය වූ මැයි 21 වෙනිදා ඔහු සංවිධායක ධුරය දරන හොරණ මැතිවරණ කොට්ඨාශයේ හොරණ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමද පැවැත්විය.

එහිදී විදුර වරාය නගර ඡන්දයට ඡන්දය නොදීමට සුබපතා යෝජනාව ගෙන ආවේ එක්සත් ජාතික පක්ෂයෙන්ය.පොහොට්ටු මන්ත්‍රීවරුන්ටද ඊට අත උස්සනවා හැර වෙන කරන්නට දෙයක් ඉතිරි වූයේ නැත.

"විදුරයි ගොයියා - කයියට දෙයියා" ප්‍රතිරූපයට විදුර තිත තැබුවේ ඔන්න ඔහොමය.

Rate this item
(0 votes)
Last modified on Friday, 28 May 2021 15:27

Related items