May 02, 2024

TNA මන්ත්‍රීවරු ජනපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවයක

February 24, 2022

උතුර - නැගෙනහිර නියෝජනය කරන දෙමළ පක්ෂ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

ඒ, එම පළාත්වල දෙමළ ජනතාවගේ ඉඩම් ගැටලුවක් මුල් කර ගනිමින්.

දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් ද එම විරෝධතාවයට එක්ව සිටියා.

එහිදී ඔවුන් ප්‍රකාශ කළේ මීට පෙර අවස්ථා කිහිපයක දී රජයට ඒ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන්න ද ඊට ප්‍රතිචාරයක් නොමැති හෙයින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණි බවයි.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවට පෙර දැනුම්දීමක් සිදුකර නොමැති බවයි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයට යොදා ගත් වැඩසටහන් කිහිපයක් සඳහා පිටත්ව ගොස් ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

උතුර - නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් පිරිසට අග්‍රාමාත්‍යවරයා හමුවීමට වේලාවක් ලබා දී තිබුණත් ඔවුන් එම හමුවීමට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ බවටයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

එමෙන්ම, ජනාධිපතිවරයා සිය කාර්යාලයේ නොමැති අවස්ථාවක පෙර දැනුම්දීමකින් තොරව පැමිණ මෙලෙස විරෝධතාවයේ නිරත වීම ජිනීවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබාදීමට සැලසුම්සහගතව කෙරෙන කුමන්ත්‍රණයක් බව ද එහි සඳහන්.

Rate this item
(0 votes)