May 01, 2024

දෙමළ ජාතික සන්ධානයට දොස්මුරයක්

ගතවූ කාලය ඇතුළත දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට කිසිදු කාර්යයක් ඉටුකර නැතැයි මන්නාරම් ස්වාධීන දේශපාලන සංසදය දෙමළ ජාතික සන්ධානයේ නායකයින් ඉදිරිපිටදීම දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ. 

උතුරු නැගෙනහිර දේශපාලන කටයුතු නිරීක්ෂණය කිරීම පිණිස පිහිටුවාගෙන ඇති මෙම සංසදය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පිරිසකට ඔවුන්ගේ වාර්ෂික සම්මේලනයට සහභාගි වන මෙන් ආරාධනා කොට ඇති අතර එහිදී මේ බව ප්‍රකාශ කොට තිබේ.

ඊයේ (17) පැවති සම්මේලනයට සහභාගී වී සිටි සියළු දෙනා ඉදිරියේ අදහස් දැක්වූ එම සංසදයේ සාමාජිකයින් 05දෙනෙකු ප්‍රකාශ කොට ඇත්තේ දෙමළ ජාතික සන්ධානය දේශපාලන වශයෙන් සියලු කටයුතු හමුවේ අසාර්ථක වී ඇති බවයි.

එමෙන්ම රජයේ බස්වලට ඇහුම්කන් දෙමින්, රජයේ වරප්‍රසාද ලබමින් පෞද්ගලික ජීවිත කෙරෙහි පමණක් අවධානය යොමු කරණ දෙමළ ජාතික සන්ධානය විදෙස් මුදල් ලබාගනිමින් ඔවුන් පමණක් පෝෂණය වන තත්ත්වයකට පත්ව සිටින බවට ද චෝදනා කොට තිබේ. 

අවම වශයෙන් උතුරු පළාත් සභාව තුළින් හෝ සාමාන්‍ය දෙමළ ජනතාවට සහන සැලසීමට දෙමළ ජාතික සන්ධානය අපොහොසත් වී ඇති බැවින් දෙමළ ජනතාව විකල්ප දේශපාලන ක්‍රියාවලියක් කෙරෙහි තල්ලු වීමට ඉදිරි කාලය තුළ අනිවාර්යෙන්ම සිදුවන බවට ද සංසදයේ නායකත්වය අනතුරු අඟවා තිබේ.

එවිට දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර් .සම්බන්ධන් මහතා ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ රජය විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනතුරු සියලු දෙනාම ඉවසා සිටිය යුතු බවයි.

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වී දෙමළ ජාතික සන්ධානයේ ද බහුතරයෙන් යුක්තව රට පාලනය වන ප්‍රථම අවස්ථාව මෙය බැවින් නව ව්‍යවස්ථා සංශෝධනයේ දී දෙමළ ජනතාව අපේක්ෂා කරන යමක් ලබාගැනීමට දෙමළ ජාතික සන්ධානය කැප වන බව ද ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රජයට එරෙහිව පෙළපාලි යාමට උත්සහ කරන්නේ රට බෙදන නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනතාව බියවද්දමින් බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා එවැනි අවස්ථාවක දෙමළ සංසද ද රටේ ජනතාව කුලප්පු නොකොට ඉවසීමෙන් යුතුව ක්‍රියා කළ යුතුව ඇතැයි පෙන්වා දී තිබේ.

දිනසේන රතුගමගේ

Rate this item
(2 votes)