May 02, 2024

ආණ්ඩුවේ මන්ත්‍රීවරියන් දෙපලක් කාපු "ගෑස්" කට්ට ගැන කියයි

නිරන්තරයෙන් මතභේදාත්මක ප්‍රකාශ කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙකුටද ගෑස් ප්‍රශ්නය ප්‍රශ්නයක් වී තිබෙන බව වාර්තා වනවා.

ඒ ගීතා කුමාරසිංහ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරියන් දෙදෙනායි.

පෝලිමේ ඉන්න හිතුනා

දින හතරක් පුරාවට ආහාර පිසීම සඳහා සිය නිවසේ ගෑස් නොතිබුණු බව සඳහන් කරන කුමාරසිංහ මන්ත්‍රීවරිය තමාට ගෑස් සිලින්ඩරයත් අරගෙන පෝලිමේ සිටීමට සිතුන බවද පෙන්වා දෙනවා.

එහෙත් තමාගේ මිත්‍රයකු වන නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවෙකු තමාට ගෑස් සිලින්ඩරයක් ලබා දුන් බව අවධාරණය කරන මන්ත්‍රිවරිය ගෑස් නැතුව ජනතාව පෝලිම් වල සිටින අයුරු තමන් දුටු බවද ආණ්ඩුවට මතක් කර දෙනවා.

ගෑස් ප්‍රශ්නය මත තමන් කඩෙන්ද කෑම ගෙනවිත් කෑ බව කුමාරසිංහ මහත්මිය සඳහන් කරන්නේ
තමන්ද ආපන ශාලා කළ අයෙක් බවත් කවදාවත් මෙවන් ගෑස් ප්‍රශ්නයකට මුහුණ නොදුන් බවද පෙන්වා දෙමින්.

ගෑස් ලොරියක් පස්සේ එළවිල්ල

තම නිවසේ ගෑස් ඉවර වූ බැවින් ගෑස් සිලින්ඩරයක් සොයා ගැනීම සඳහා තමන් වින්ද දුක ඩයනා ගමගේ මන්ත්‍රීවරිය හෙළිදරව් කරනවා.

ගෑස් සිලින්ඩරයක් සොයා ගැනීම සඳහා ගියේ තමා බවත් පැලවත්ත ඉන්ධන පිරවුම් හල අසල ගෑස් තිබෙන බවට ලැබුණු ආරංචිය මත එතනට යන විට එහි ගෑස් සිලින්ඩර අවසන් වී තිබූ බවයි ගමගේ මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ.

ඉන් පසුව අතුරුගිරියේ ගෑස් සිලින්ඩර තිබෙන බවට ලැබුණු ආරංචියකට අනුව එහි ගිය බවත් එහි යන විට ගෑස් සිලින්ඩර පටවා ගත් ලොරියක් යනවා දුටු බවත් එය පිටිපස්සෙන් ගොස් ඔරුවලදී එම ලොරියේ ගෑස් කඩේකට බාන විටදී මුදල් දී සිලින්ඩරයක් ලබාගත් බව ගමගේ මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ ගෑස් සිලින්ඩරයක් සොයා ගැනීමට තමන් මුහුණ දුන් තත්ත්වය පෙන්වා දෙමින්.

ගෑස් අර්බුදය කඩිනමින් විසඳිය යුතු බවයි මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ.

Rate this item
(2 votes)
Last modified on Sunday, 09 January 2022 16:37

Related items