May 13, 2024

කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා විමල්ගෙන් ජනපතිට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ඊයේ (01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ, දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධව කරුණු දක්වමිනි.

පසුගිය වසරේ ජිනීවා මානව හිමිකම් සමුළුවට ලංකා රජය, ඇමෙරිකානු රජය සහ දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ යෝජනාවන්හි ඇමෙරිකානු යෝජනාවේ කරුණු පිළිබඳව තුන් පාර්ශවීය ගිවිසුමකට එළඹ ඇති බවට සුමන්දිරම් මහතා ඇමෙරිකාවේ දී කළ ප්‍රකාශයක් මෙම ලිපියට පදනම වී තිබේ.

වීරවංශ මහතා අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කියාසිටින්නේ ඒ අනුව සුමන්දිරම් මහතා විසින් දේශීය දෙමුහුන් යුධ අධිකරණයක් ඇති කිරීම වෙනුවෙන් එකඟතාවය පළ කර ඇති බවයි.

එම එකඟතාවය කුමක්දැයි තමා ප්‍රශ්න කර සිටින බවත් එලෙස දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට ලබාදීමට පොරොන්දු වූ වරප්‍රසාද මොනවාද යන්න පිළිබඳවත් මන්ත්‍රීවරයා මෙම ලිපියෙන් විමසා සිටී.

වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා සඳහන් කොට ඇත්තේ සුමන්දිරන් මන්ත්‍රීවරයා සඳහන් කරන තුන් පාර්ශවීය ගිවිසුමට එකඟතාව පළ කිරීමට බලය ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයා ද නොදැනුවත් නම් වහාම ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 02 July 2016 11:02