May 04, 2024

උතුරේ බුදුපිළිම හැදීම ගැන හින්දු සම්මේලනයෙන් ප්‍රකාශයක් (VIDEO)

ශ්‍රී ලංකාව යනු බෞද්ධ රටක් බවත් මෙරට අනන්‍යතාවය බෞද්ධාගම බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේලනය පවසයි.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන සහ බුදු පිළිම ඉදිකිරීමට එරෙහි මත ප්‍රචාරය වීම පිළිබඳව තම සංවිධානයේ ස්ථාවරය පැහැදිලි කරමින් එම සම්මේලනයේ සභාපති එන්.අරුණකාන්තන් මහතා මේ බව ප්‍රකාශ කළේ ය.‍

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > >

එම ප්‍රදේශවල බුදු පිළිම සහ විහාරස්ථාන ඉදිකිරීමට එරෙහි මත පතුරවා ද්‍රවිඩ ජනතාව අවුස්සා විශාල විරෝධයක් ගොඩනැගීමට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු උත්සහ දරමින් සිටින බව අරුණකාන්තන් මහතා පැවසුවේ ය.

දෙමළ බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර පළාත්වල බෞද්ධ ආගමික ඉදිකිරීම් සඳහා අයිතියක් ඇත්දැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රශ්ණ කරන නමුත් මීට වසර දහස් ගණනකට පෙර උතුරු නැගෙනහිර දමිළ බෞද්ධයින් සිටි බවත් අදටත් එම පෙදෙස්වලින් හමුවන බෞද්ධ පුරාවස්තු ආදිය එයට සාක්ෂි දරන බවත් ඒ මහතා අවධාරණය කළේ ය.

එමෙන්ම මෙරට අගනගරයවන කොළඹ නගරයේ වීදියෙන් වීදියට හින්දු කෝවිල් ඉදිකර ඇති බවත් දකුණේ එකදු සිංහලයෙකු හෝ එයට එරෙහි වී නොමැති බවත් අරුණකාන්තන් මහතා පෙන්වා දුන්නේ ය.

සිංහලයා යනු සාමාන්‍ය ජාතියක් නොවීම එය එසේ වීමට හේතුව වන බවත් ලෝකයේ ජීවත්වන මිනිස් කණ්ඩායම් අතුරින් සිංහල ජාතිය යනු උතුම් ජාතියක්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

තව ද ද්‍රවිඩ සංස්කෘතියට සහ හින්දු ආගමට කිසිසේත් නොගැලපෙන මුස්ලිම් පල්ලි විශාල ගණනින් උතුරු නැගෙනහිර පළාත්වල ඉදිකිරීම සිදුවද්දී, හින්දු ආගමේ ද මව්බිම වූ ඉන්දියාවේ සිට පැමිණි බුදුන්වහන්සේගේ ආගමට අදාළ විහාරස්ථාන ඉදිකිරීම පිළිබඳ උතුරු මහඇමතිවරයාට ඇති කැක්කුම කුමක්දැ යි ඒ මහතා ප්‍රශ්ණ කොට සිටියේ ය.

මෙවැනි කාරණා හරහා ජාතිවාදය පැතිරවීමට උත්සහ දරන්නේ තනි පුද්ගලයින්ගේ දේශපාලන උවමනා මත බව ද අරුණකාන්තන් මහතා අවධාරණය කළේ ය.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(2 votes)